Tuesday 21 January 2020

Liya Ayubowan: ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු Unknow...

ලංකා ඉතිහාසයේ විවිධ කාල වකවානුවලදී පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි සහ ද්‍රවිඩ සතුරු ආක්‍රමණ ඇති වූ සෑම අවස්ථාවකදීම රට, ජාතිය, ආගම නිදහස් කර ගැනීමට ජීවිත පූජා කල ජාතික වීරයෝ බොහොමයක් සිටි. එවන් ජාතික වීරයන් සහ වීරවරියන් ගැන යම් අවබෝධයක් ලබා තිබීම අප කොයි කාටත් එකසේ ප්‍රයෝජනවත් වේ. එම ජාතික වීරයන් සහ වීරවරියන් අතරින් කිහිපදෙනෙකු පිළිබඳව අනාගත පරපුරේ වගේම ඔබගේද දැනගැනීම සඳහා මෙම සටහන් පෙළ ඔබ වෙත ගෙන ඒමට CR Entertainment අපි සිතුවෙමු.

01.වැලිවිට සිරි සරණංකර සංඝරාජයන් වහන්සේ

මහනුවර වැලිවිට ගමේ සිංහල මුදලිවරයකු ගේ පුතකු වූ සරණංකර හිමිගේ ගිහි කල පෙළපත් නාමය වූයේ කුලතුංග යන්නයි. උන්වහන්සේ උපත ලැබුවේ 1698 ජුනි 18 වන දා වැලිවිට ගමේ දී ය. කුඩා වියේ දී ගමේ විසූ ප‍්‍රභූවරයකුගේ මගපෙන්වීමෙන් අකුරු උගත් කුලතුංග කුමරුවා සූරියගොඩ නම් විහාරයේ දී වැලිවිට සරණංකර හිමි ලෙස ටික කලකින් පැවිදි විය. මහජනතාව විසින් ගණින්නාන්සේලා ලෙස භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට පටන් ගත් යුගයක් වූ එම යුගයේ සැබවින් සඟ සසුන පිරිහී ගිය යුගයක් විය. බුදුන් වහන්සේ අකැප යැයි ලෙස වදාරණ ලද බොහෝ කරුණු ජීවිකාව වශයෙන් කරගෙන ගිය භික්ෂූන් වහන්සේලා ජනතාව අතර පිරිහීමට ලක් වූහ. සරණංකර හිමියෝ එම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කළ සේක. මුලින්ම උන්වහන්සෙ එවකට අතුරුදන් වූ චාරිත‍්‍රයක් වූ පිණ්ඩපාත ක‍්‍රමය ආරම්භ කරන ලදහ. එනිසාම උන්වහන්සේට පිණ්ඩපාතික යන විශේෂණ පදය හිමි වූහ. සරණංකර හිමිගේ මෙම ආදර්ශවත් දිවිපෙවෙත ඇලුම් කළ තවත් සිල්වත් භික්ෂූන් වහන්සේ කිහිප දෙනෙකුම උන්වහන්සේට සහයෝගය දැක්වීමට එකතු වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතා ඈත පෙදෙස් වලින් පවා කුලදරුවන් සසුනට ඇතුළු වී ආදර්ශවත් දිවි පෙවෙතක් ගත කිරීමයි. යකැදුරුකම් පවා කරමින් සිටි දුසිල්වත් භික්ෂූන්ට මෙය හිරිහැරයක් විය. එම භික්ෂූන්ට ජනතාවගෙන් වන වරප‍්‍රසාද අඩු විය. එනිසා කෝපයට පත් වූ දුසිල්වත් භික්ෂූන් සරණංකර හිමියන් එකල රජ කළ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු සමග බේදකර වූහ. එහෙත් දිනක් පඬිවරයකු සමග සාකච්ඡා කරවීමට සුදුසු භික්ෂුවක් නොවූයෙන් රජුට සරණංකර හිමිගේ සහය පැතීමට සිදු විය. එහි දී රජු උන්වහන්සේ පිළිබඳ පැහැදී නැවත එම හිමි සමග උරණ නොවී සිටීමට කටයුතු කළහ. ඉන් පසු රජ වූ රජු ද සරණංකර හිමිගේ සිල්වත් භික්ෂූ ජීවිතයට ගරු කරමින් කටයුතු කළේය. ඉන් අනතුරුව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ සමයේ සරණංකර හිමිගේ මැදිහත්වීමෙන් සියම් රටේ සිට උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේලා මෙරටට ගෙන්වා ගැනීමට හැකි විය. එම භික්ෂූන් වහන්සේලා වෙතින් සරණංකර හිමි ඇතුළු අනෙකුත් සිල්වත් භික්ෂූන් වහන්සේලා උපසම්පදාව ලැබූහ. ඉන් අනතුරුව සංඝරාජ පදවියක් ද රජතුමා විසින් උන්වහන්සේට පිරිනමන ලදී. එතැන් සිට වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ යන නමින් උන්වහන්සේ හඳුන්වන්නට යෙදිණි. භාෂා කිහිපයක් දැන සිටි සරණංකර හිමියෝ මහනුවර විහාර අතර තිබූ විරසක භාවය දුරු කිරීමට කටයුතු කළහ. එසේම රජරට වෙහෙර විහාර ප‍්‍රතිසංස්කරණය කිරීමට ද, ධර්ම ශාස්තී‍්‍රය ග‍්‍රන්ථකරණයට ද මුල් තැනක් ලබා දුන්හ. මහා බෝධි සන්නය, රාජ මාලාව, සාරාර්ථ සංග‍්‍රහය, අභිසම්බෝධි අලංකාරය ආදිය ඉන් කිහිපයකි. මීට අමතරව භික්ෂු ශිෂ්‍යයන් පුහුණු කිරීම, ධර්ම දූතයන් පුහුණු කරවීම ආදිය ද උන්වහන්සේ අතින් සිදු වූ සේවාවන් වේ.

02.මිගෙට්‌ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි

සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව සඳහා ජපකළ මහා මන්තරයක්‌ බඳු පානදුරා වාදය ගැන අප රටේ නොදන්නා අය අල්පය. එය සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට හා උන්නතියට ඉවහල් වූවා පමණක්‌ නොව හෙළ දැයේ අභිමානයටද හේතු වූවකි. ශාසන වංශකතාව අසිරිමත් කරමින් මේ අභිමානය අපට ලබාදුන්නේ බළපිටිය මිගෙට්‌ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ය. උන්වහන්සේගේ ශ්‍රී නාමය වසරකට වරක්‌ නොව නිතර නිතර සිහිපත් කළ යුතු උතුම් නාමයකි. මේ උන්වහන්සේගේ ගුණ මහිමයෙන් අල්ප මාත්‍රයක්‌ පමණි. ගුණානන්ද හිරු උදා වූයේ මෙරට සම්බුද්ධ ශාසනය අන්තයටම අඳුරේ ගිලුණ අවිචාරවත් අවධියකය. ඒ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී යුගයයි. වර්ෂ 1845 වන විට බුදුසසුන අන්තයටම පිරිහී තිබුණි. එවකට බුදු දහම ඇදහීම තබා මේ අපේ රට යෑයි කියන්නට තරම් හෙළයන්ට නිදහසක්‌ නොතිබුණේය. බුදු දහම අභිබවා නැගී සිටියේ කිතු දහමයි. එයට හේතුව කිතු දහම පැතිරවීමට ඉංග්‍රීසීන් විසින් අනුගමනය කළ උපායශීලී පිළිවෙත් හා බුදුදහමට එරෙහිව කළ මිලේච්ඡ ක්‍රියාවන්ය. සංඝයා වහන්සේලාට වධ හිංසා පැනවීම, වෙහෙර විහාර විනාශ කිරීම, සඟ සතු දේපළ කොල්ලකෑම හා මංසන්ධිවල සිටුවන ලද බෝ ගස්‌ කපා ගිනි බත් කිරීම මේ මිලේච්ඡ ක්‍රියාවන්ගෙන් සමහරකි.
බුදු දහම අතහැර කිතුදහම වැළඳ ගන්නා අයට නිලතල ගරු බුහුමන් පිදුමද ඉංග්‍රීසීන්ගේ පිළිවෙතක්‌ විය. මේ නිසා බෞද්ධයෝ කිතු දහම වැළඳ ගැනීමට යුහුසුලු වූහ. මෙකල කොළඹ වැනි නාගරික ප්‍රදේශවල සංඝයා වහන්සේ නමකට තබා ගිහියකුටවත් අතවරයකට ලක්‌ නොවී සැරිසැරීම මහත් අපහසු කාර්යයක්‌ විය. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට අභීතව පෙරමුණ ගත්තේ ගුණානන්ද හිමියන්ය. ජාතික හා ආගමික හැඟීමෙන් ඔදවැඩී සිටි උන්වහන්සේ ගමේ සිට නගරයට වැඩියේ ශාසනික හටන දියත් කිරීමටයි. බළපිටිය ශ්‍රී සුභද්‍රාරාමයේ සිට කොටහේන දීපදුත්තාරාමයට වැඩම කරමින් උන්වහන්සේ ඇරඹූ මුල්ම ශාසනික හටන වූයේ ඉංග්‍රීසින් විසින් කපා ගිනිබත් කරන ලද බෝගස්‌ වෙනුවට නැවත දෙගුණයක්‌ බෝගස්‌ සිටුවීමයි. ගිහි – පැවිදි දෙපක්‍ෂයේම සහභාගිත්වයෙන් බෝධිරාජ සමිතිය පිහිටුවා කොළඹ කොට්‌ටම්බාගස්‌ වීදියෙන් ජයග්‍රහණයේ අඩිතාලම දැමූ එම ශාසනික හටන බෞද්ධයන්ගේ පිබිදීමට හේතුවක්‌ විය. එහෙත් ඉංග්‍රීසි බුදුදහමට එරෙහිව ගෙන ගිය ක්‍රියාමාර්ග එතෙකින් නැවතුනේ නැත. උන්වහන්සේ ඉංග්‍රීසින් නිහඬ කිරීමට ක්‍රිස්‌තියානි වාද මර්දනය නමැති ග්‍රන්ථය සම්පාදනය කළේ එයින් පසුවයි. මේ සඳහා මහෝපකාරී වූයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තිබූ නිපුණත්වය හා බයිබලය කියවලත් පූර්ණ අවබෝධයයි. කිතු දහම හා බුදුදහම තුලනාත්මකව සංසන්දනය කිරීමෙන් උන්වහන්සේ තර්ක ඥානය මැනවින් ලබාගත්තේය. හැකිනම් අප හා වාද කොට බුදු දහම ජයගනුවයි කියමින් කතෝලික පූජකවරු ගුණානන්ද හිමියන්ට අභියෝග කළහ. අභියෝගයට මුහුණ දුන් උන්වහන්සේ ඔවුන් හා වාද පහක්‌ පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන්ය. එයින් වර්ෂ 1865 දී පවත්වන ලද වරාගොඩ වාදය මුල්ම වාදයයි. එය බැප්ටිස්‌ මිෂනාරීවරුන් සමග පවත්වන ලද්දකි. එයින් පසු 1866 හුනුපොල නිලමේ ප්‍රමුඛ මිෂනාරීන් සමග උදම්මිට වාදය 1871 දී හා බැප්ටිස්‌ හා වැස්‌ලියන් සමාගම් දෙක සමග ගම්පොල වාදයත් එම වසරේදීම බද්දේගම වාදයත් ජයගෙන ඇත. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ වර්ෂ 1873 අගෝස්‌තු 26, 27 දෙදින පානදුරේදී පැවැත්වූ පානදුරාවාදයයි. මෙය පවත්වන ලද්දේ බෞද්ධ අබෞද්ධ අතිවිශාල ජනකායක්‌ මධ්‍යයේය. කුපිත වූ ප්‍රතිවාදීන් මැද එක ලේ බිඳුවක්‌වත් නොසොල්වා උන්වහන්සේ මේ මහා වාදය ජය ගෙන ඇත. ධර්ම පුස්‌තකයත් වමතේ රඳවාගෙන දකුණේ දබරැඟිල්ල ප්‍රතිවාදීන්ට එල්ල කරමින් කේසර සිංහයකු මෙන් උන්වහන්සේ නැගූ හඬ අප රට පමණක්‌ නොව මුළු ලෝකයටම ගිගුම් දුන්නේය. මේ නිසා උන්වහන්සේ මහා වාදීභසිංහයෙක්‌ වූහ. පානදුරාවාදය සම්බුද්ධ ශාසනයේ උන්නතියට හේතු වූවා පමණක්‌ නොව හෙළ දැයේ අභිමානයටද බොහෝ හෙයින් ඉවහල් විය.
ඇමරිකාවේ හෙන්රි ඕල්කට්‌ තුමා ලංකාවට පැමිණ බුදු දහම වැළඳ ගත්තේද ගුණානන්ද ගුණ මහිමයෙන් ඔද වැඩුණු සිතිනි. එපමණක්‌ නොව එතුමන් විසින් අරඹන ලද බෞද්ධ අධ්‍යාපනයේ මාර්ග උපදේශකවරයාණන් වූයේත් ගුණානන්ද හාමුදුරුවන්ය. මෙයට උපහාරයක්‌ ලෙසින් ගුණානනන්ද නමින් බෞද්ධ විදුහලක්‌ ආරම්භ කිරීමට ඕල්කට්‌තුමා අදහස්‌ කළත් ගුණානන්ද හිමියන් එම විදුහලට ආනන්ද විදුහල යෑයි නම් කර ඇත. උන්වහන්සේ එසේ කරන ලද්දේ බුදුන්වහන්සේගේ ධර්ම භාණ්‌ඩාගාරික අනඳ තෙරුන්ට පූජෝපහාරයක්‌ වශයෙන් යෑයි කියවේ. අද එය කොළඹ ආනන්ද විදුහලයි. ශාසනයෙන් ඔද වැඩුණ අප මාහිමියන්ගේ අවසාන ශාසනික මෙහෙය අභයගිරි යුද්ධය නමින් හැඳින්වේ. අභයගිරි විහාරයේ නිධන්කර ඇතැයි සැලකුණ ත්‍රිපිටක ග්‍රන්ථ ගැනීම සඳහා එම විහාරය කැණීමට අර ඇඳි අවස්‌ථාවේ එයට එරෙහිව නැගී සිටියේද උන්වහන්සේමය. ගුණානන්ද හිමියන් අභයගිරි චෛත්‍යාකාර සමිතිය පිහිටුවා කළ උද්ඝෝෂණය නිසා ඉංග්‍රීසීන්ගේ තැත ව්‍යර්ථ විය. මේ හැම ශාසනික සටනකදීම උන්වහන්සේට ගිහි පැවිදි දෙපක්‍ෂයෙන්ම පූර්ණ සහයෝගය ලැබිණි. උන්වහන්සේ සමග සටනේ පෙරමුණට ආ පැවිදි උතුමන් අතර හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, පානදුරේ ශ්‍රී ගුණරතන, වැලිගම ශ්‍රී සුමංගල, රන්දොඹේ ශ්‍රී ධම්මාලංකාර හා වස්‌කඩුවේ ශ්‍රී සුභූති යන නායක හිමිවරුන් මුල් තැනක්‌ ගනී. මෙවන් අයුරින් මහා ආගමික මෙහෙවරක්‌ කරමින් ජාතියේ වීරත්වයට පත්වූ උන්වහන්සේ 1890 සැප් 21 දින අපවත්වූ සේක.

03.වාරියපොළ ශ්‍රී සුමංගල හිමි

වාරියපොල ශ්‍රී සුමංගල හිමියෝ දේශයේ නිදහස්‌ අරගලයට උරදුන් 19 වැනි ශත වර්ෂයේ ජීවත් වූ මහා සංඝ පීතෘවරයෙකි. දුටුගැමුණු රජතුමාගෙන් පසු 1815 දක්‌වා කාලය තුළ කලින් කල පැවැති නිදහස්‌ අරගලවලදී මහා සංඝ පීතෘවරුන්ගෙන් ලද දායක්‌තවය අතිමහත්ය. වලගම්බා රජු සමයේ පූජ්‍ය තිස්‌ස හිමිපාණන්, රාජසිංහ රජු පාලන සමයේ පූජ්‍ය දීඝ හිමිපාණන්, සීතාවක රජු සමයේ පූජ්‍ය රතනසේකර හිමිපාණන් වැනි පූජ්‍ය පාද ස්‌වාමීන් වහන්සේලා පිළිබඳ ඉතිහාසය කරුණු අනාවරණය කරයි. පූජ්‍ය රඹුක්‌වැල්ලේ රතනජෝති හිමියන්, පූජ්‍ය පොතුහැර රතනපාල හිමියන්, පූජ්‍ය කණුමලේ ධම්මදස්‌සි වැනි හිමිවරුන් නිදහස්‌ සටනේ පෙරමුණ ගත් තවත් ස්‌වාමීන්වහන්සේලාය. මේ සියල්ල අතරින් වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් නිදහස්‌ සටනේ කැපී පෙනෙන මහා හිමි නමකි.
වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් උපත ලබන්නේ කුරුණැගල දිස්‌ත්‍රික්‌කයේ වාරියපොල ග්‍රාමයේය. උන්වහන්සේගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ වේ. ශ්‍රී සුමංගල හිමියන් උපත ලබන්නේ බමුණාකොටුවේ රාළහාමිලාගේ කිරිහාමි යන ගිහි නාමයෙනි. උන් වහන්සේ පැවැදි බව ලබන්නේ වාරියපොල ශ්‍රී සුමංගල හිමි නමිනි. උන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් වන්නේ සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ඉදවලුගොඩ ධම්මපාල හිමිපාණන්ය. වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් පසු කලකදී උපසම්පදාව ලබාගනී. ධර්මය ඉගෙනීමේ උපන් කුසලතාවක්‌ හිමි ඉතා දක්‍ෂ බෞද්ධ භික්‍ෂුවක්‌ වූ ශ්‍රී සුමංගල හිමියන් වාරියපොල ශෛලතලාරාම විහාරයේ මහා සංඝනායක වශයෙන් පත්වේ. මේ විහාරය වර්තමානයේ හඳුන්වන්නේ ශ්‍රී සුමංගල රජමහ විහාර පිරිවෙන වශයෙනි. පසුව උන්වහන්සේ සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ උත්තරීතර තනතුරක්‌ වු අනුනායක තනතුරට පත්වේ.
ගුරු හාමුදුරුවන් වහන්සේ හා සුමංගල සාමනේර හිමියන් මහනුවර ආදාහන මලුව ගෙඩිගේ විහාරයේ පදංචිව සිටි බවට මතකයක්‌ පවතී. මහනුවර මුල්ම රජමහ විහාරය වන්නේ ආදාහන මලුව ගෙඩිගේ මහා විහාරයයි. මුල්ම රජ මහවිහාර වශයෙන් සැලකෙන විහාරස්‌ථාන 10 ට ආදාහන මලුව ගෙඩිගේ විහාරය ඇතුළත් වන්නේ පළමු රජමහා විහාරය වශයෙනි. ගෙඩිගේ රජමහ විහාරය රජවරුන්ගේ සෘජු සම්බන්ධතාවයක්‌ පැවැති රාජ අනුග්‍රහය ලැබූ රජමහ විහාරයට පූජා කරන ලද විශාල ඉඩකඩම් හිමි විහාරයක්‌ බව ඓතිහාසික විස්‌තර අනුව සඳහන් වේ. බුදුදහමේ ප්‍රවර්ධනය සඳහා ගෙඩිගේ රජමහ විහාරයෙන් සිදුවූ සේවය අතිමහත්ය. මහනුවර ආදාහන මලුව ගෙඩිගේ විහාරය 14 වැනි ශතවර්ෂයේ ඉදිකරන ලද බැව් සඳහන් වේ. මහනුවර ඉදිකළ පළමු සිද්ධස්‌ථානය වන්නේ ද ගෙඩිගේ විහාරයයි.
නිදහස්‌ අරගලයේ උඩරට රාජ්‍යය විදේශ ආක්‍රමණිකයන්ගෙන් බේරාගැනීම සඳහා ඇති වූ සෑම අරගලයකදීම භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගත්හ. ඒ අතර කැපී පෙනුන සංඝ පීතෘවරයෙක්‌ වූයේ වාරියපොල ශ්‍රී සුමංගල ස්‌වාමීන් වහන්සේය. ශ්‍රී දළදා වහන්සේගේ හා උඩරට වැසියන් ආරක්‍ෂා කර ගැනීම සඳහා භික්‍ෂූන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයන්ට විරුද්ධව මහත් කැපවීමෙන් කටයුතු කළහ. ලන්දේසි ආක්‍රමණයේ දී අස්‌ගිරි පාර්ශ්වයේ පූජ්‍ය ධම්මදස්‌සි හිමියන් දළදා වහන්සේ මහනුවර සඟවා තබා ආරක්‍ෂා කරන ලදී.
උඩරට කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව උඩරට සිංහල නායකයෝ උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට පවරාදීම සඳහා උඩරට ගිවිසුම සකස්‌ කරමින් සිටියහ. 1815 මාර්තු මස 02 වැනි දින උඩරට ගිවිසුම අත්සන් කරන දිනයේ දී ගිවිසුම අත්සන් කිරීමට පෙර බ්‍රිතාන්‍යය සොල්දාදුවකු විසින් ශ්‍රී දළදා මාලිගාවේතිබූ සිංහල කොඩිය පහතට හෙළා බ්‍රිතාන්‍යය කොඩිය එසවීමට ක්‍රියා කළේය. මෙම සිද්ධිය දුටු අනුනායක වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් වහා එතැනට පැමිණ ගිවිසුම තවමත් අත්සන් කර නැති බවත් ගිවිසුම අත්සන් කරන තෙක්‌ තවමත් උඩරට රාජ්‍ය අයත් වන්නේ සිංහලයන්ට බව පවසා නංවන ලද ඉංග්‍රීසි කොඩිය පහතට හෙළා සිංහල කොඩිය ඔසවන ලදී. උඩරට රාජ්‍යයේ ගෞරවය පිළිබඳ ඉමහත් භක්‌තියෙන් කටයුතු කළ වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ නිර්භීත ක්‍රියාව අදද උඩරට වැසියන්ගේ මතකයේ පවතී. සුමංගල හිමියන් එසේ ඔසවන ලද සිංහල කොඩිය වශයෙන් සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අවසාන රජු විසින් පාවිච්චියට ගන්නා ලද සිංහ කොඩිය වේ. සුමංගල හිමියන් විසින් ඉංග්‍රීසි කොඩිය පහත හෙළා දැමීම බ්‍රිතාන්‍යයන් විසින් සලකන ලද්දේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කරන ලද දරුණු ක්‍රියාවක්‌ හා අනාගතයේ ඔවුන්ට විරුද්ධව අරගල කිරීමේ සංග්‍රාමයක්‌ ලෙසිනි.
1818 වර්ෂයේ දී බ්‍රිතාන්‍යය පාලනයට විරුද්ධව උඩරට වාසීහු කැරලි ගැසීම ආරම්භ කළහ. දේශය මුදාගැනීමේ අරගලයට නායකත්වය දුන්නේ කැප්පෙටිපොල දිසාවේ විසිනි. උඩරට සිංහල රාජ්‍යයේ සම්ප්‍රදාය හා පිළිගැනිම අනුව දළදා වහන්සේ යම් රජ කෙනෙකුගේ භාරයට පත් වන්නේ නම් ඔහු ආරක්‍ෂා වන බවද ජාතියේ ගෞරවය හිමි කර ගන්නා අයෙකු බවට සාම්ප්‍රදායානුකූල පිළිගැනීමක්‌ තිබිණ. මෙය මනාව වටහා ගත් අස්‌ගිරියේ අනුනායක වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියන් ඉතා කල්පනාකාරීව සූක්‍ෂමව කටයුතු කරමින් ගන්ධ කුටියේ තිබූ ශ්‍රී දළදා වහන්සේ ඉන් ඉවත් කර හඟුරන්කෙත ප්‍රදේශයට ගෙන ගොස්‌ සඟවා තබන ලදී. පසුව උඩරට කැරැල්ල මෙහෙයවූ හා එයට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාවේ වෙත දළදා වහන්සේ භාරදි ඇත. දළදා වහන්සේ අත්පත් කර ගැනීම සම්ප්‍රදායානුකූලව රට පාලනයේ අයිතියක්‌ ඇති බව සංකේතවත් කරවන්නකි. දළදා වහන්සේ කැප්පෙටිපොල දිසාවේ භාරයට පත්වීමේ ප්‍රවෘත්තිය පැතිර යෑමත් සමඟ කැරැල්ලට සහභාගි වූ අයගේ උත්තේජනයක්‌ ඇති වූ අතර කැරැල්ල ඉක්‌මනින්ම ව්‍යාප්ත විය. මෙම කැරැල්ල බ්‍රිතාන්‍යයන් විසින් ඉතාම දරුණු ලෙස මර්දනය කරන ලදී. කැරැල්ලට නායකත්වය දුන් මහා සංඝයා වහන්සේලා ඇතුලු ගිහියන් මරා දමන ලදී. කෙත් වතු නිවාස ගිනි තබමින් හරකා බාන විනාශ කරමින් මහජනයා වෙත දරුණු වද හිංසා පමුණුවන ලදී. මේ නිසා ජනතාව සාගින්නෙන් පෙළෙන්නට විය. මෙම දරුණු විනාශය කෙතෙක්‌ද යන්න විනාශ කළ ගොවිබිම්වල නැවත වගා කිරීමට නොහැකි වන සේ සාශ්‍රීක නොවීය. උඩරට සමහර නායකයන් බ්‍රිතාන්‍යයන් සමඟ එක්‌ වී සිදුකළ පාවාදීම් හේතුවෙන් උඩරට කැරැල්ල සම්පූර්ණයෙන් අසාර්ථක වී බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට යටත්විය.
1818 නොවැම්බර් මාසයේ දී වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් බ්‍රිතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත්විය. වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ට දළදා වහන්සේ පැහැරගෙන යෑම හා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කැරලි ගැසීම පිළිබඳව නඩු පවරා සිර දඬුවම් පමුණුවා යාපනය සිරගෙදර රඳවා තබන ලදී. සමහර වාර්තා අනුව 1821 අප්‍රේල් මස 21 වැනි දින එවකට ලංකාවේ ආණ්‌ඩුකාරවරයාගේ නියමය පරිදි වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් සිරෙන් නිදහස්‌ කළ බව සඳහන් වේ. ශ්‍රී දළදා මාළිගාවේ මහමලුවේ ඉදිකර ඇති වාරියපොල සුමංගල හිමියන්ගේ පිළිරුව ලංකා නිදහස්‌ සටනේ අභීත සෙන්පතියකු පිළිබඳ අතීත කථාව අපට පසක්‌ කරදේ. උන්වහන්සේ සිය පැවිදි ජීවිතය කැප කළේ බුදු දහමට පමණක්‌ නොව අප රටේ ස්‌වාධීනත්වය වෙනුවෙනි. උන් වහන්සේගේ ජීවිත කතාන්තරය ආවර්ජනය කර එය අනාගත පරපුරට මතක්‌ කර දීම ජාතියේ වගකීමකි.

04.කුඩාපොළ හාමුදුරුවෝ

බ්‍රිතාන්‍යය ජාතිකයන් විසින් මෙරට අත්පත් කරගත් යුගයේ එම විදේශීය ආධිපත්‍යයට එරෙහිව දේශප්‍රේමී ජනතාව සටන් කළ යුගයයි. 1948 මෙම විදේශ හමුදා සහ රාජ්‍ය බලයට එරෙහිව දෙවන විමුක්‌ති සටනට නායකත්වය දුන්නේ ගොන්ගාලේ ගොඩ බංඩාය. ඔහු සිංහළේ මහරජු ලෙසින් කිරුළු පැළඳීම එවකට මෙරට පාලනය කළ ඉංග්‍රීසීන්ට මහත් හිසරදයක්‌ මෙන්ම අභියෝගයක්‌ ද විය. ගොන්ගාලේ ගොඩ බංඩා රජු අල්ලා මරා දැමීමට විදේශිකයන් කුමන්ත්‍රණය කරද්දී රජුගේ පාර්ශ්වය ද ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් වදින්නට විය. මෙම සටන් පෙරමුණේ සිටි ප්‍රබල චරිතයක්‌ වූයේ කුඩාපොළ හිමියන්ය. සටන්කරුවන්ට ශක්‌තියක්‌ වෙමින් සැඟව සිට නායකත්වය දුන් කුඩාපොල හිමියන් 1848 දී අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. ඒ ඉංග්‍රීසීන්ගේ හමුදාවල ශක්‌තියෙන් නොවේ. එවකට සිටි පල්ලමේ කුඹුරේ බස්‌නායක නිළමේ නම් ද්‍රෝහී පුද්ගලයකුගේ ඔත්තුවක්‌ අනුව අප හිමියන් කහල්ලේ ගල්ලෙනක සැඟවී සිටියදීය. අල්ලාගත් මොහොතේ සිටම රජු ඉන්නා තැනක්‌ පිළිබඳව තොරතුරක්‌ සපයන්නේ නම් ජීවත්වීමේ වරම ලැබෙන බවත් ජීවත්වීමට ආශාවක්‌ ඇත්නම් රජු පිළිබඳ තොරතුරු සපයන ලෙසත් ඉංග්‍රීසීන් අප හිමියන්ට දන්වා සිටියහ. “මම දන්නෙ නැහැ” කුඩාපොළ හිමියන්ගේ එකම පිළිතුර විය. කොතෙක්‌ උත්සාහ කළත් රජු සිටින තැන පිළිබඳව තොරතුරක්‌ මෙම හිමියන්ගෙන් ලබාගැනීමට නොහැකිවූ තැන උන්වහන්සේ යුද අධිකරණයක්‌ ඉදිරියට කැඳවා උන්වහන්සේට චෝදනා නැගූහ.
උන්වහන්සේට නැගුණ චෝදනාව වූයේ “මේ රටේ සාධාරණ උතුම් වූ ඉංග්‍රීසි ආණ්‌ඩුවට විරුද්ධව කැරැළි ගසන කැරැළි නායකයා සමග සම්බන්ධකම් පවත්වමින් ඔහුගේ රාජද්‍රෝහී ක්‍රියාවලියට අනුබල දීමෙනුත් එම කැරළි නායකයා දැනට සැඟවී සිටින තැන පිළිබඳව යුෂ්මතා දන්නා සත්‍ය කරුණු ආණ්‌ඩුවට අනාවරණය නොකිරීමෙනුත් යුෂ්මතා රාජද්‍රෝහීව කටයුතු කරන්නේය යනුවෙනි. ඒ සමගම කැරැළි නායකයා අල්ලා දී ජීවිත දානය ලබාගැනීමට තවමත් කලවේලාව ඇති බවද කියා සිටියේය. “මම දන්නෙ නෑ… චෝදනාවට මම නිර්දෝසයි” අප හිමියන්ගේ එකම පිළිතුර විය. ඉහත සඳහන් චෝදනාව ලත් අප හිමියන්ට එරෙහිව නඩු විභාගය ඇරඹිණ. උන්වහන්සේට එරෙහිව සාක්‍ෂිදීමට පල්ලමේකුඹුරේ බස්‌නායක නිලමේත්, ඔහුගේ පුත්‍රයාත්, වීදිය වැල්ලේ විදානේත් ඉදිරිපත් වූහ. ඔවුන්ගේ සාක්‍ෂි විමසීමෙන් අනතුරුව යුද අධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කළාය. උතුම් වූ ඉංග්‍රීසි ආණ්‌ඩුවට විරුද්ධව කැරැළි නායකයා හා සම්බන්ධකම් පැවැත්වීම, කැරැළි නායකයාට අනුබල දීම යන චෝදනා යටතේ යුෂ්මතාට රාජද්‍රෝහියකුට ලැබිය යුතු දණ්‌ඩනය මෙහිදී නියම කරමු. මේ තීන්දුව අනුව 1848 අගෝස්‌තු මස 26 දින උදේ 7.00 ට යුෂ්මතා වෙඩි තබා මැරිය යුතු යෑයි මේ යුද අධිකරණය තීරණය කරයි.
අගෝස්‌තු 26 දිනට හිරු උදාවිය. උදේ 7.00 විය. දෑතේ විලංගු සහිතව කුඩාපොළ හිමිපාණන්ට මරණ දඬුවම පැමිණවීම සඳහා පෝරකය වෙත ගෙන ගියේය. අප හිමිපාණන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට භාරව තිබුණේ කැප්ටන් පෙන්වික්‌ නමැති හමුදා නිලධාරියාටය. ඔහු අවසන් වතාවටත් කුඩාපොළ හිමියන්ට දැන්වීය. “කැරැළි නායකයා සිටින තැන පවසන්න. තවමත් ඔබට ඔබේ ජීවිතය බේරා ගැනීමට අවස්‌ථාවක්‌ ඇත. මේ අවසාන මොහොතේ ලැබෙන මේ මොහොතෙන් ප්‍රයෝජන ගන්න” “මම දන්නෙ නෑ” අප හිමියන්ගේ පිළිතුර එය විය. කැප්ටන් පෙන්වික්‌ ඝාතකයන්ට සංඥාව නිකුත් කළේය. තවත් අාදීන බුද්ධ පුත්‍රයෙකුගේ ලෙයින් ලක්‌ දෙරණ තෙත් විය. රට වෙනුවෙන් තවත් බුදු පුතකු ජීවිතය පිදුවේය. කුඩාපොළ හිමියන් අප රටට ආදර්ශයක්‌ වන්නේ එදාට වඩා අදටය. එදා උන්වහන්සේ රට හෝ රජු පාවා දුන්නේ නැත. අවශ්‍ය නම් පාවාදී බොහෝ වරප්‍රසාද ලබාගැනීමට අවස්‌ථාව තිබිණි. එහෙත් උන්වහන්සේ ඒ සියල්ල පසෙක ලා ඒ වරප්‍රසාදවලට වඩා මරණය උතුම් යෑයි සැලකුවේය. උන්වහන්සේගේ උපන් ගම දැනට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුලියාපිටිය, නාරම්මල බස්‌ මාර්ගයේ පිහිටි කුඩාපොළ බව ඉතිහාසඥයෝ දක්‌වති.
කුඩාපොළ ස්‌වාමීන් වහන්සේ සම්බන්ධ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහත් ආන්දෝලනයක්‌ ඇති විය. මෙහි ඇති අවිචාරවත් බව එවකට මෙරට සේවය කළ ඉංග්‍රීසි නිලධාරීන් දෙදෙනකු වන ක්‍රිස්‌ටෝපර් එලියට්‌ සහ ඒ. එම්. පර්ගියුසන් විසින් බ්‍රිතාන්‍යයට දන්වා තිබිණි. 1848 දෙසැම්බර් මස ඡේ. කේ. දුනුවිල නමැති නීතිඥ මහතා විසින් ද මේ පිළිබඳව පෙත්සමකින් එරටට කරුණු දන්වා ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1848 දී මාතලේ සහ සත්කෝරළේ දිසාවන්හි යුද නීතිය ප්‍රකාශ කිරීමත් ඒ දක්‌වා ලංකාවේ ඉංග්‍රීසි පාලනයත් සම්බන්ධයෙන් කරුණු පරීක්‍ෂා කිරීම සඳහා විශේෂ කොමිටියක්‌ පත් කෙරිණි. මෙම කොමිටියේ වාර්තාවේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ටොරිංටන් සාමි ආණ්‌ඩුකාර පදවියෙන් ද එමර්සන් ටෙනන්ට්‌ මහාලේකම් පදවියෙන් ද පහ කෙරිණි. එපමණක්‌ නොව ටොරිංටන් සාමී ආරක්‍ෂා කිරීමෙහිලා මහත් අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ එවකට බ්‍රිතාන්‍යය අගමැති පදවිය ඉසිලූ රසල් සාමිවරයාගේ ඇමැති මණ්‌ඩලය ද පාර්ලිමේන්තුවේදී පරාජය වූ අතර එරට රජය විශාල අර්බුදයකට පත්විය.

05.හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණෝ

සුමංගල හිමියෝ 1827 වසරේ ජනවාරි මස 20 වෙනිදා හික්කඩුවේදී උපත ලැබූහ. මුලින්ම උන්වහන්සේ පන්නම්ගොඩ පේගුත්තර හිමියන්ගෙන් සිංහල සහ පාලි ඉගෙන ගත්හ. ඉන් අනතුරුව වලානේ සිද්ධාර්ථ හිමියන් ඇසුරෙහි අකුරු කළහ. එසේම කසීනාථ නමැති බමුණු පඬිවරයකුගෙන් සංස්කෘත, තර්ක ශාස්ත්‍රය සහ නක්ෂත්‍රය ආදිය ඉගෙන ගත්හ. සුමංගල හිමියන් උපසම්පදාව ලද්දේ මහනුවරදීය. ඉංග්‍රීසී,ප්‍රංශ,දෙමළ, රුසියන් වැනි භාෂා කිහිපයක් පිළිබඳවම හසල දැනුමක් ඇතිව සිටි සුමංගල හිමියන් පාලි බස උගත් ධර්මධර වියත් හිමිනමක් වූහ. බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගත් උන්වහන්සේ පිරිවෙනක්ද ආරම්භ කළහ. එය “විද්‍යෝදය“ පිරිවෙන ලෙස හැඳින්වෙන අතර ථෙරවාදි බුදු දහම පැතිරවීමට එම පිරිවෙන මහඟු තෝතැන්නක් විය. සරසවි සඳරැස, ලංකාලෝකය, වැනි පත්‍ර සඟරා ආරම්භ කිරීමටද උන්වහන්සේගෙන් අනුශාසනා ලැබුණි. විශාල ගෝල පිරිසක් බිහිකළ සුමංගල හිමියෝ බුදු දහම ජනතා හදවත් තුළ තව දුරටත් පෝෂණය කොට වැඩි දියුණු කිරීමට හැම විටම උත්සාහ ගත්හ. උන්වහන්සේ අතින් ඉටුවුණු විවිධ ක්‍රියාකාර වලින් මෙන්ම සුමංගල හිමියන් විසින් සිංහල සාහිත්‍යයට තිලිණ කරන ලද පාලි, සිංහල, සංස්කෘත ග්‍රන්ථ සහ ගාථා හා ශ්ලෝක තුළින්ද දෙස, බස, රැස රැකගැනීමෙහිලා ඉටු වූ සේවය අතිමහත්ය. නැණ නුවණින් මෙන්ම දයානුකම්පිත හදවතකින්ද හෙමි සුමංගල හිමියෝ 1911 වසරේ අප්‍රේල් 29 දා අවුරුදු 84ක් ආයු වළඳා අපවත් වූහ.

06.ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය වන අපගේ මාතෘ භූමියට සිංහල භාෂාවට හා බුදු දහමට අමිල සේවාවක්‌ කරමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමෙහිලා මහත්වූ වෙහෙසක්‌ දැරූ විදේශිකයන් අතරින් ප්‍රමුඛස්‌ථානය ලැබෙනුයේ ටිබෙට්‌ ජාතික සිකීම් මහින්ද හිමියන්ටය. සිංහලයකු නොවූවද ලක්‌බිමෙහි නොඉපදුණ සිංහල ජාතිය ගැන බුදුදහම පිළිබඳව නිරතුරුව ජාතික කැක්‌කුමකින් ක්‍රියා කළ මහින්ද හිමියෝ සිය කවීත්වය උපයෝගි කරගෙන නිදා සිටි සිංහලයන් අවදි කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූහ.
එස්‌. කේ. ටෂිනම්ගල් කුමරු හිමාලය කඳුවැටිය අසල ටිබැට්‌ ප්‍රදේශයට යාබද සිකීම් නුවරදී උපත ලබන්නේ 1901 වසරේදීය. උපතින් වසර 13 කට පසුව එනම් 1914 දී ටෂිනම්ගල් කුමරු ජර්මන් ජාතික හිමිනමක්‌ සමග ලක්‌දිවට පැමිණ මහාබෝධි සමාගමට අයත් විද්‍යාලයකට ඇතුළුවී ඉගෙනීමෙහි සහජ දක්‍ෂතා දක්‌වමින් අධ්‍යයන කටයුතුවල නිරත විය. ඒ අතරතුරදී අලුත්ගම සීලක්‌ඛන්ධ නාහිමියන්ගෙන් සංස්‌කෘත සිංහල, පාලි, බුද්ධාගම ආදී සියලු ශාස්‌ත්‍රයන් මැනවින් ප්‍රගුණ කරමින් ව්‍යක්‌ත ධර්ම දේශකයන් වහන්සේ නමක්‌ වූයේ සාමණේර අවධියේදීමය. පසුව දොඩන්දූව ශෛලබිම්බාරාමයේ සිට රත්මලානට පැමිණ රත්මලාන පුරාණ රජමහා විහාරාධිපතිව සිටි ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති හිමියන්ගේ ශිෂ්‍යයකුව මහණ උපසම්පදාව ලබාගෙන ශ්‍රී ධර්මාරාම පිරිවෙනට ඇතුළු වී ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම යන විභාග වලින් උසස්‌ ලෙස සමත් විය. මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ධුරයකට පත්වන්නේ ඉන් අනතුරුවය. කුමන කාර්යයක නිරතවී සිටියද දේශවාත්සල්‍ය දනවන උසස්‌ කවි ලියමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමට මහින්ද හිමියන් කිසිවිටෙකත් අමතක නොකළේය.
1935 දී ශ්‍රී ලංකා මාතා නමැති විශිෂ්ට කාව්‍යය ලියමින් සිය කවීත්වය මැනවින් ඉස්‌මතු කළ උන්වහන්සේ අඛණ්‌ඩව කවි ලියුවේ අසරණව සිටි සිංහලයාට වහල් බැම්මෙන් මිදී නිවහනව නැඟී සිටීමට ධෛර්යය දීමටය. මහින්ද හිමියන්ගේ කවි අසිපතෙන් නැඟුණු රණහඬ නිදහස්‌ සටනට උරදී සිටි විරුවන්ගේ සිතට මහත් ශක්‌තියක්‌ විය. ඔවා මුතු දම නමැති කවි පොත රචනා කරමින් ග්‍රන්ථ කරණයට පිවිසි උන්වහන්සේ ඉතා වටිනා කාව්‍ය ග්‍රන්ථ 29 ක්‌ සහ ගද්‍ය ග්‍රන්ථ 11 ක්‌ ලියා පළකරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට නොපිරිහෙලා දායක වූහ. කොළඹ යුගයේ ප්‍රථම කාලයේ දක්‍ෂ කවියකු වූ ටිබෙට්‌ හිමියෝ දිනපතා හා සති අන්ත පුවත්පත්වලට සඟරාදියට සැපයූ ලිපි කවි ආදිය අප්‍රමාණය. මහින්ද හිමියන් ළමා පරපුර වෙනුවෙන් ද බොහෝ කවි ගී ලියා ඇති බව ප්‍රසිද්ධ කරුණකි. ළමා ලෝකයේ සුන්දරත්වය ඉතා සරළව මෙන්ම රසවත්ව ඉදිරිපත් කරමින් ළමා මනස පුබුදුවාලීමට වෙහෙස දැරීය. ළමා කවි කළඹ, ඔවා මුතු දම, කව් මිණ, කව්මුතු එයට කදිම උදාහරණ වේ.
උන්වහන්සේ සිය ජීවිතයේ අවසන් වසර 15 ම පානදුරේ මහබෙල්ලන සුධර්මාරාම විහාරයේ වැඩ වෙසෙමින් විශාල ශාසනික මෙහෙවරක නිරත විය. අමද්‍යප ව්‍යාපාරයට සාර්ථක දායකත්වයක්‌ සපයමින් ඉංශ්‍රීසී පාඨශාලාවක්‌ හා නවලංකා දහම් පාසල පවත්වාගෙන යෑමට කටයුතු කළේය. විදේශිකයකු වුවද සිංහල ජාතිය අසරණව සිටි අවධියක සිංහල ජාතියේ ඉතිහාසය සහ ප්‍රෟඩත්වය පෙන්වා දෙමින් සිංහලයා තුළ දේශානුරාගය හා නිවහල් හැඟුම් ඇතිකරලීමට දිවිහිමියෙන් කටයුතු කළ ටිබෙට්‌ ජාතික සිකීම් මහින්ද හිමියෝ 1951 මාර්තු 16 දා ලංකාවාසී සකල බෞද්ධ ජනතාවම ශෝකයට පත්කරමින් හදිසියේ අපවත්වී වදාළ සේක.

07.අනගාරික ධර්මපාල තුමා

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය.
පියා එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ ය. ඔහු මාතර හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධනගේ දියණිය වූ මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන) ය. ඔහු ගේ සහෝදරයෝ වූ එඩ්මන් හේවාවිතාරණ, සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද බ්‍රිතාන්‍ය ලංකාවේ කැපී පෙණුනු චරිතය.
1872 – 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 – 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 – 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 – 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය. මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය. පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය. වයස අවුරුදු 16 දී ඩේවිඩ් හේවාවිතාරණට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලෙඩ්බීටර් බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ. ඔවුනගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අැරවන්නක් විය. සිංහල ජාතියට හා බුදු දහමට සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය. සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත් තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත් අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව පියා ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය.
වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශයේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑමෙන් ජපන් බුදු දහම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් සෙන්‍ෂිරෝ නෞගචි ඕල්කට්තුමාට ජපානයට කළ ආරාධනාවක් අනුව ඔහු 1889 ජනවාරි 10 වන දින ධර්මපාලතුමා සමග ජපානය බලා පිටත්ව ගියේ ය. ලංකාවෙන් ජපානයට ගිය ප්‍රථම ධර්ම දූතයා වශයෙන් සැලකෙන්නේ ධර්මපාලතුමා ය. එහි දී පැවැත් වූ ජපන් බෞද්ධ මහා සම්මේලනයේ දී බෞද්ධ කොඩිය ප්‍රථම වරට පෙරදිග රටක ප්‍රදර්ශනය කරන ලදි. 1890 වසරේ දෙසැම්බර් 05 වන දින ධර්මපාලතුමා ජපන් ජාතික ගුණරතන කොජේන් භික්‍ෂුව සමග බෝධිගයාව වන්දනය කිරීමට ඉන්දියාව බලා කොළඹින් පිටත් විය. බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවට හින්දු වත්පිළිවෙත් අනුව පුද පූජාවන් පැවතෙමින් තිබිණි. බුද්ධගයා මහා විහාරයේ භාරකාරයාව සිටි හේමනාරායන ගිරි නම් මහතා සිතා සිටියේ බුදුන්වහන්සේ ශිව භක්තිකයෙකු බවයි. ධර්මපාලතුමා මෙය සැලකුවේ බුදුන්ට කරන අගෞරවයක් වශයෙනි. ගුණරතන කොජේන් භික්‍ෂුව බෝධිගයාවේ තාවකාලිකව නවතා කෙටි බුරුම සංචාරයකින් අනතුරුව ධර්මපාලතුමා නැවත ලංකාවට පැමිණියේ ය. 1891 මැයි 31 වන දින බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ පරමාර්ථය පෙර දැරි කොට ගෙන බුද්ධගයා මහා බෝධි සංගමය ආරම්භ කරන ලදි. මේ හේතුවෙන් සියලු ආගම් හා ජාතීන් සමානත්වයෙහිලා සැලකූ ඕල්කට්තුමා හා ධර්මපාලතුමා අතර විරසකයක් ඇතිවිණි.
බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර්ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩවම ඉදිරියට ගෙන ගියේ ය. ඔහු ගේ අභාවයෙන් පසුව බෞද්ධ හින්දු දෙපාර්ශ්වයෙන්ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය.
1921 දී ධර්මරාජික විහාරයත් 1931 දී මූලගන්ධකුටි විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය. ඉංග්‍රීසී මහා බෝධි සඟරාව කියවීමෙන් පසුව චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ සම්පාදක බරෝස්, ධර්මපාලතුමාට 1893 දී චිකාගෝ නුවර පැවති දෘෂ්ටි සම්මේලනයට ආරාධනා කළේ ය. බුදු දහම ප්‍රචාරය කිරීමට, සිංහල හා හින්දු භික්‍ෂූන් කිහිප නමක් එංගලන්තයට යවන ලදි. ලන්ඩන් මහාබෝධි සංගමය, බ්‍රිතාන්‍ය බෞද්ධයා නම් ඉංග්‍රීසී සඟරාව ඇරඹීය. බ්‍රිතාන්‍ය ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය. වාර්ෂිකව කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල පිඟන් කර්මාන්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමි සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය ගොවිකම හැදෑරු මුනසිංහ එසේ කර්මාන්ත ඉගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති. බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දී කල්කටාවේ දී ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ. ඔහු ඉන් නිදහස ලැබුවේ 1921 දී ය.
හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන් ධර්මපාලතුමාට තරුණකල දුන් අවවාදයක් අනුව 1931 ජූලි 13 වන දින බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින් පැවිදි දිවියට ඇතුළු විය. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි. 1933 දී ධම්මපාල හිමියෝ අපවත් වූහ. ශ්‍රී දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද මළසිරුර නරක් වීම නිසා ආදාහන කටයුතු ඉන්දියාවේ දී ම සිදු කෙරුණි. භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි.

08.විහාර මහා දේවිය

රටත්, ජාතියත්, ආගමත් වෙනුවෙන් දිවි පුදන්නට ඉදිරිපත් වූ ලෝකයේ පළමුවන කාන්තාව ලෙස විහාර මහා දේවිය හැඳින්විය හැකිය. ක්‍රි:පූ: 145 දී කැළණි මිටියාවතේ කැළණිතිස්ස රජතුමාත් රුහුණු රටේ කාවන්තිස්ස රජතුමාත් රාජ්‍ය පාලනය කළහ. කැළණිතිස්ස රජු සැකය පසුබිම් කරගෙන කරන ලද මහා පාප කර්මයක් නිසා මුහුදගොඩගලා මුළු රටම යටවී යන තරම් මොහොතක රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා මුහුදට බිලි වීමට ගිය ඇය විහාර මහා දේවියයි. එම සිද්ධියට පසුබිම් වූ කථාව කෙටියෙන් මෙසේය.
කැළණිතිස්ස රජතුමාගේ සොහොයුරු උත්තිය කුමාරයා සහ කැලණිතිස්ස රජතුමාගේ බිසව අතර අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. හදිස්සියේම එම කුමරුට මාළිගාවෙන් පිට වීමට සිදු විය. රජමාළිගාවේ නිරතුරුවම දවල් දානය සදහා භික්ෂූන් වැඩම කළ අතර භික්ෂුවේශධාරියකු අත උත්තිය කුමාරයා රජ බිසවට එවනු ලැබූ ලිපියක් බිසවට ලැබෙන ලෙස දැමු විට එය රජු දැක අහුලා ගත්තේය. එම ලිපියෙහි අකුරු කැළණිතිස්ස රහත් මා හිමියන්ගේ අකුරුවලට බෙහෙවින් සමාන වූ නිසා ලිපිය කැළණිතිස්ස මා හිමියන්ගේ විය යුතු බවට වරදවා තේරුම් ගත් රජු උදහස් වී දැඩිව කිපී කැළණිතිස්ස රහත් මා හිමියන් උණු වෙන ලද තෙල් සැලියකට දමා මරා දැම්මේය.
ඒ සමග එම නිදොස් රහත් මා හිමියන්ගේ ඝාතනයට එරෙහිව මහ පොළොව කම්පා විය. මුහුද ගොඩ ගලමින් වතු පිටි කුඹුරු ඉඩකඩම් විනාශ කරමින් රට වැසියාට නොයෙක් විපත් ගෙන දෙන්නට විය. මුහුද ගොඩ ගලන මහා ජල කඳ ගම් නියම්ගම් පාළු කරන්නට විය. රජතුමා තම නුවණැති පුරෝහිතයන්ගෙන් හේතු විචාළේය. මෙය රජතුමාගේ වරද නිසා සිදු වූ දේව ශාපයක් බවත් කන්‍යාවක් රං ඔරුවක නංවා මුහුදට පා කර හැරීමෙන් මෙම ශාපයෙන් මිදීමට හැකි බවත් එම පුරෝහිතයන් කීහ. ”මගේ රට මගේ ජාතිය වෙනුවෙන් මගේ ජීවිතය පූජා කිරීමට සුදුසුම වේලාව මෙයයි” සිතු විහාර මහා දේවිය තම රට වෙනුවෙන් මුහුදට බිලිවීමට තමා කැමති බව සිය පිය රජු වූ කැළණිතිස්ස රජතුමාට දන්වා යැව්වාය. නියමිත වේලාව පැමිණි පසු ශෝකයෙන් බරිත මුහුණින් යුතු සිය දෙමාපියන්ගෙන් සමුගත් විහාර මහා දේවිය ඉතා අලංකාරවත් රං ඔරුවක නංවා එමගින් අපේක්‍ෂිතකරුණු ලියා මුහුදේ පා කර හැරීය. එම ඔරුව ලංකාවේ දකුණු දිග වෙරළේ කිරින්ද නම් ස්ථානයේ පාවෙමින් තිබියදී කාවන්තිස්ස රජුගේ ධීවරයන් දැක රජුට ඒ බව සැළ කළේය. රජු එම තොරතුරු පරික්ෂාකර බලා ඇය තමාගේ අගබිසව ලෙස පත්කර ගත්තේය. ඇය රට, ජාතිය, ආගම වෙනුවෙන් මුහුදට බිලි වූවත් අනතුරකට පත් නොවී ඇගේ අනාගත දිවියද සාර්ථක කර ගැනීමට හැකි අයුරින් සියල්ල සිදු විය. කාවන්තිස්ස රජුගේ අග බිසෝ තනතුරට පත්වීමෙන් පසු බුද්ධාගමත්, සිංහල ජාතියත් නගා සිටුවීමට දෙන ලද දායකත්වය හේතුවෙන් ජාතික වීරවරියක, ජාතියේ වීර මාතාවක වීමට සුදුසුකම් ලැබූ ඇය ලෝකයේ පහළ වු ප්‍රථම වීර කාන්තාව ලෙසද හැඳින්විය හැකිය.එම වීර මාතාව එනම් විහාර මහා දේවිය මහා පහන් ටැඹක් මෙන් දැයට ආලෝකය ගෙන දුන්නාය. ඇය ජාතියේ මහා වීර මාතාව යනුවෙන් හදුන්වන්නේ ඒනිසාය.

09.සෝමා දේවිය

වළගම්බා රජු අනුරාධපුරයේ තම රාජධානිය කොට රජකම් කළේය. මේ කාලයේ සිටි තිස්ස බ‍්‍රහ්මණයාද බලවත්ව සිටියේය. ද්‍රවිඩයන් සමඟ එක්ව තිස්ස බ‍්‍රහ්මණයා රජුට විරුද්ධව කැරලි ගැසීමට පටන් ගත්හ. මේ කාලයේම ඉන්දියාවේ සිට මෙහි පැමිණි ද්‍රවිඩයන්ගේ ආක‍්‍රමණ වලටද මුහුණ පෑමට සිදු විය. ද්‍රවිඩ ආක‍්‍රමණිකයෝ කෙසේ හෝ රාජ්‍ය බලය තමන් නතුකර ගැනීමට තරම් ප‍්‍රබල විය. ඒ මොහොතේ රජුද ද්‍රවිඩ ආක‍්‍රමණිකයන්ගෙන් බේරී පලා ගියේය. රජු පලා ගියේ සතුරන්ට බියෙන් නොව සිංහල ජාතියත්, සිංහල සංස්කෘතියත් බුද්ධ ශාසනයත් ද්‍රවිඩයන්ගෙන් රැක ගැනීම සඳහාය. සතුරන් පැරද වීමට අවස්ථාව ලද විගසම සිංහලයාගේ ස්වාධිනත්වය රැක ගැනීම සඳහා ඔහුගේ සේවය අත්‍යවශ්‍ය බව ඔහු හොඳින් තේරුම් ගෙන සිටියේය.වළගම්බා රජු පසුපස හඹා ආ දමිළ ආක‍්‍රමණිකයන් පස් දෙනා වූයේ පුලහත්ථ, භාතිය, පනයමාර, පිලයමාර, දෘඨික, යන අයයි. මොවුන් රාජ්‍ය බලය ආක‍්‍රමණය කොට තිබුහෙයින් වළගම්බා රජුට පළා යෑමට සිදු විය. ඒ මොහොතේ රජුගේ රිය තුළ රජු සමඟ සොහොයුරාගේ පුත් නාග කුමරු හා මහාසිළු, තිස්ස කුමරු, අගබිසව අනුලාත්, දෙවැනි බිවස වූ සෝමා දේවියත් සිටියහ. රථය තුළ පස් දෙනෙකු සිටි නිසා රථයේ වේගය බාල විය. පසුපස හඹා එන සතුරනට බියෙන් ඉදිරියත් පසුපසත් බලන විට රථය සැහැල්ලු කර ගැනීමට හැකි මගක් මතකයට නැගුනේ නැත. නමුත් මෙතරම් සංඛ්‍යාවක් රැගෙන රථයට ගමන් කළ නොහැකි බව රථයේ සිටි සියලු දෙනාටම වැටහී තිබිණ. කෙසේ හෝ ගමන් ඉක්මන් නොකොළොත් සිදු වන්නේ සියලු දෙනාම සතුරන් අතට පත් වීමය. රජුට කිසිම තීරණයක් ගැනීමට නොහැකිව පසු විය. රජුගේ අගබිසව වූ අනුලා දේවිය රථයෙන් බැස්ස වීමට නොහැකිය. ඒ ඇය දරුවකු බිහිකිරීමට සිටි නිසාය. කුඩා කුමාරවරුන් දෙදෙනාත් රජකමට උරුම කම් කී නිසා ඔවුන්ද කිසිසේත් බැස්සවිය නොහැකිය. තරුණ, කීකරු, රූමත්, නැණවත්, ගුණවත්, බිරිඳ වූ සෝමා දේවියගෙන්ද වෙන්වීමට රජු කිසිසේත් කැමැති වූයේ නැත. ඊයක වේගයෙන් වළගම්බා රජු පසුපස හඹා එන සතුරන් රාජකීය රථයට ආසන්න වන ආකාරය සියලු දෙනාම බලා සිටියේ මරණයේ වේදනාව දරාගත නොහැකිවය. සියුම් තීක්ෂණ ඥානයක් හා ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් යුත් සෝමා දේවියට වැදගත් අදහසක් සිහියට නැගුණි.“අපි සැම රැගෙන මෙම රථය පැදවිය නොහැකි නිසා මා පමණක් රථයෙන් පනිමි. එවිට සතුරන් මා පසුපස ලුහු බඳීනු ඇත. එය ප‍්‍රයෝජනයට ගෙන ඔබ තුමාට රථය රිසි සේ ධාවනය කළ හැකිය. යනුවෙන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පැවසූූ දේවියගේ අදහසට විරුද්ධ වීමට රජුට කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැත. තම ජීවිතය පරදුවට තබා හෝ තම ස්වාමියාගේ ජීවිතය රැක දිය යුතුයැයි සිතූ දේවිය එය ඇගේ යුතුකමක් සේ සිතුවාය. තව දුරටත් තීරණයක් ගැනීමට කල් ගෙව්වොත් සිදු වන විනාශය විශාලය. එම නිසා තම සැමියා රට ජාතිය පරපුර රැක ගැනීම සඳහා කරන උදාර පරිත්‍යාගයක් සේ සැලකුවාය. මෙම කාර්යය සිංහල කාන්තා පරපුරට ආදර්ශයකි. සිංහල කාන්තාවන්ගේ වීරෝධාර බව කියා පෑමටත් හේතුවකි. ඒ වගේම විරෝධාර කාන්තා චරිත නාමාවලියට එකතු වීමටත් හොඳ අවස්ථාවක් යැයි ද ඇය සිතුවාය. රථයෙන් පනින අතරතුරද ඇය සිතුවේ සැමියාගේ අපෙක්ෂා සාර්ථක වන ලෙසයි. ඉන් පසුවද “ඉක්මන් කර පලා යන්න” යනුවෙන් කීමටද ඇය එඩිතර වූවාය. රථයෙන් බිමට පැනගත් සෝමා දේවිය අසල වන ලැහැබකට වැදුණාය. දේවිය සතුරන් අතට පත්වීමට වැඩි වේලාවක් ගත නොවූ අතර ඒ මොහොතේ වළගම්බා රජු ඇතුළු පිරිස සතුරන්ගෙන් බේරී පලායෑමට සමත් වූහ. සෝමා දේවිය දුටු ද්‍රවිඩ ආක‍්‍රමණිකයෝ ඇය කෙරෙහි පැහැදුණු නමුත් ඇගේ සිත දිනා ගැනීම ඔවුන්ට පහසු වූයේ නැත. ඒ නිසා සෝමා දේවියට නුහුරු නපුරු පරිසරයක සිරකාරියක් ලෙස සිටීමට සිදුවිය. සතුරන්ගෙන් සැග වී වනයේ ජීවත් වූ වළගම්බා රජතුමා වසර දහතුනකට පසුව නැවත රාජ්‍ය බලය ලබාගත් අතර ඉන්පසු රජුගේ මූූලික කාර්යයන් අතර ප‍්‍රධාන වූයේ තමාත් රජ පවුලත් රට ජාතියේත් නිදහස වෙනුවෙන් ඇගේ ජීවිතය ගැනවත් නොසිතා සිදු කළ පරිත්‍යාගය රජුට අමතක නොවීය. රජු පඬුරු යවා ඇය ලංකාවට ගෙන්වා ගෙන අග බිසව බවට ද පත්කර ගත්තේය. එතනින් නොනැවතුන රජතුමා ඉන්පසුව ඇගේ වීරෝධාර සේවය සදාකල් සිහිවීම පිණිස විශාල චෛත්‍යයක් කර එය සෝමා දේවි නමින් නම් කරන ලදී. අද අපි සෝමාවතිය චෛත්‍ය නමින් හඳුන්වන්නේ එම චෛත්‍යයයි.

10.කුසුමාසන දේවිය සහ විමලධර්මසූරිය මහරජතුමා

විජයගෙන් ඇරඹි අපේ ලිත් වංශ කථාවෙහි රජවරුන් එකසිය අනූවක්‌ පමණ ලංකා කිරුළ දරා ඇත. එයින් සුවිශේෂ වූ ඉතිහාසයෙහි නොමැකෙන නමක්‌ රැන්දූ රජවරුන් අතළොස්‌සක්‌ අතර කොනප්පු බණ්‌ඩාර නොහොත් පෘතුගීසීන් දොන් ජුවාන් ඔස්‌ටි්‍රයා නමින් හැඳින්වූ විමලධර්මසූරිය මහරජුට හිමිවන්නේද විශිෂ්ට ස්‌ථානයකි. දන්තුරේ සටනෙහි වීරයාද ඔහුය. අපේ වංශ කථාව ඇරඹෙන්නේ ක්‍රි. පූ. 544 දී පමණ මෙරටට ගොඩබට ඉන්දියානු කුමාරයෙකු වූ විජයගෙනි. වංග නොහොත් නූතන බෙංගාලයේ කුමාරියක ලාට රට නොහොත් නූතන ගුජරාට්‌හි කැලෑවකදී සිංහයෙකු විසින් පැහැරගෙන ගොස්‌ කැලෑවේ ගල්ගුහාවකදී සන්වාසයෙන් පසුව කුමාරයෙකු හා කුමාරියක බිහි කොට ඇත. කල්යත්ම කුමාරයා සිංහයා මරා දමා ලාට රට රජ විය. විජය ලාට රට රජුගේ දෙවෙනි පුතාය. එයින් අවුරුදු තුන්සිය හතළිස්‌ දෙකකට පසු රජු වූයේ එළාර නම් චෝල ජාතිකයෙකි. ඔහුද ධාර්මිෂ්ඨව හා නීතිගරුකව රට පාලනය කර ඇත. කොතරම් නීති ගරුකද යත් රජමාලිගා පරිශ්‍රයෙහිම රජුට පැමිණිලි කළ හැකි චෝල සම්ප්‍රදාය අනුව “ආරච්චිමනි” නම් ඝණ්‌ඨාරයක්‌ එල්ලා තිබිණි. සතා සිව්පාවා පවා මෙම ඝණ්‌ඨාරය නාද කොට යුක්‌තිය ඉටුකරවා ගත් බව වංශ කථාවල සඳහන්ය. මේ අනුවය අපේ රටේද මෑතක්‌ වනතුරු ගම්බද ආරවුල් විස දඬුවම්ද පැමිණියවූ හැකි “ආරච්චි මහත්වරු” නම් නිලධාරි පැලැන්තියක්‌ බිහිවූයේ මෑතක්‌ වනතුරු රජයේ කාර්යාලවලද ආරච්චි තනතුරක්‌ තිබිණි. ඉන්පසුව රජ පැමිණි දුටුගැමුණු (ක්‍රි. පූ. 161-137) අප රටේ චෝල ආක්‍රමණය පරදවා අවුරුදු විසිපහක්‌ පමණ රජකරමින් බෞද්ධාගම්ද දියුණු කර වෙහෙර විහාර ඉදිකළ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වශයෙන් පිළිගැනීමට ලක්‌ව ඇත. නැවත වතාවක්‌ චෝල ආධිපත්‍යය මෙරටින් තුරන් කිරීමෙන් පසුව පොලොන්නරුව රාජධානිය ආරම්භ කළේ මුප්පනේ (නූතන මොනරාගල) කීර්ති මහා විජයබාහු (1055-1110) නමින් අවුරුදු පනස්‌ පහක්‌ රජකම දැරීමෙනි. අපේ ඉතිහාසයෙහි තවත් කීර්තිමත් රජ කෙනකු වූයේ එකසිය හතළිස්‌ දෙවන රජවූ මහා පරාක්‍රමබාහු (1153 – 1186) තෙක්‌ අවුරුදු පනහක්‌ ඉක්‌මවා පොලොන්නරුවේ රජකම දැරීමෙනි. රජතුමා ගොවිතැනට වෙදකමට මෙන්ම යුද්ධයටද දක්‌ෂයෙක්‌ විය. රාමඤ දේශය නොහොත් නූතන බුරුමයට විරුද්ධව යුද්ධ කොට ජයගත්තේය. රජතුමාගේ හමුදා නායක ලංකාපුර සෙනෙවියා සුදු අසෙකු පිට නැඟී එරට වීදි සංචාරය කළේය. පසුව රජතුමා පාණ්‌ඩ්‍යය දේශය නොහොත් නූතන ආන්ද්‍රා ප්‍රදේශයද චෝල නොහොත් නූතන චෙන්නායිද යටත්කරගෙන රජතුමාගේ රූපය සහිත කාසිද ඒ රටවල භාවිතයට නිකුත් කළේය. එරටින් විශාල පිරිසක්‌ මෙරටට ගෙනා බවද එම රටවල් රජතුමාට කප්පම් ගෙවූ බවද එච්. ඩබ්ලිව්. කොඩ්රිංග්ටන් වාර්තා කරයි. ඉතිහාසයේ තවත් අමතක කළ නොහැකි නමක්‌ තැබුයේ කාලිංගයේ (නූතන ඔරිස්‌සා) රජ කෙනකු වූ මාඝ පැරැද්ද වූ දුම්බර ගලහිටියාවේ බෝධිරාජ නොහොත් තුන්වන විජයබාහු (1232 – 1236) තෙක්‌ අවුරුදු පහක්‌ පමණ පොලොන්නරුවේ රජ කිරීමෙනි. මාඝ විසි අවුරුද්දක්‌ පමණ රජකළ අතර වෙහෙර විහාර හා පොත් පත්ද ගිනි තබා විනාශ කළේය. මෙම අභග්‍ය සම්පන්න කාලයේදී දන්ත ධාතූන් පවා ආරක්‌ෂා කළේ විජයබාහුය. අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණි, යාපහු කුරුණෑගල, ගම්පොල, කෝට්‌ටේ ආදී වශයෙන් සඳහන් යුගවලින් කෝට්‌ටේ යුගය විශේෂ වන්නේ ප්‍රථම යුරෝපීය ආක්‍රමණිකයන් වූ පෘතුගීසීන්ගේ ලංකා ගමන නිසාය. හයවන පරාක්‍රමබාහු නොහොත් ශ්‍රී පරාක්‍රමබාහු (1412 – 1467) මේ වන විට නැවත රට එක්‌සේසත් කළ රජු වශයෙන් ඉතිහාසයට එක්‌වෙයි. කෝට්‌ටේ රාජධානිය විජයබාහු කොල්ලයෙන් පසුව රයිගම සීතාවක වශයෙන් බෙදී යැමෙන් රටේ ස්‌ථාවරභාවයද දුර්වල විය. මේ අතර සේනාසම්මත වික්‍රමබාහු (1463 – 1483) සෙංකඩගල රාජ්‍යයද ආරම්භ කළේය. ඉහත සඳහන් කළ යුගවලදී මෙන්ම සෙංකඩගල යුගයේදීද රට සතුරු ආක්‍රමණවලින් මුදා ගැනීමට පහළ වූ වීරයා වශයෙන් ඉතිහාසයට එක්‌වන්නේ කොනප්පු බණ්‌ඩාර වූ කලක්‌ පෘතුගීසීන්ට එක්‌ව දොන් ජෝන් ඔස්‌ටි්‍රයා නමින්ද බෞතිස්‌ම කර සිටි විමලධර්මසූරිය මහරජතුමාය. කොනප්පු බණ්‌ඩාර ඔහුගේ සහෝදරයා වූ සලප්පු බණ්‌ඩාර ද සමඟ මෙරටින් පැනගොස්‌ ගෝවේදී පෘතුගීසීන්ගේ රැකවරණය ලැබුවේ ඔහුගේ පියාවූ වීරසුන්දර බණ්‌ඩාර මරවා සීතාවක රාජසිංහ 1581 දී තමාගේ වැඩිමහල් සහෝදරියවූ සඳුන් කුමාරි නොහොත් මහබිසෝ බණ්‌ඩාරට උපන් මැණික්‌බිසෝ බණ්‌ඩාරගේ පුතා නිකපිටියේ බණ්‌ඩාර එල්ලාවල රාජසූරිය නමින් සෙංකඩගල කිරුළෙහි තැබූ නිසාය. අද අප සිහිපත් කරන දන්තුරේ සටනෙහි වීරයා වන්නේ සෙංකඩගල රාජ්‍යයේ දොළොස්‌වන අනුප්‍රාප්තිකයා වූ පේරාදෙණිය පරපුරේ මහාකලුපරාක්‍රම නමින් පෘතුගීසීන් විසින් හඳුන්වන ලද වීරසුන්දර බණ්‌ඩාර නොහොත් විඡේසුන්දර බණ්‌ඩාරගේ අතිජාත පුත්‍ර විමලධර්මසූරිය මහරජුය. කොනප්පු හා සළප්පු ගෝවේදී යුද්ධ උපක්‍රම සටන් කලාව අවි හරඹ ආදිය මනාව හැදැරුයේ තම පියා මරා දැමූ රාජසිංහගෙන් කවදා හෝ පළිගැනීමේ අපේක්‍ෂාවෙනි. සලප්පු ගෝවේදී සටනකින් මියගිය පසුව ඉතිරි වූ කොනප්පු එවකට දකුණු ආසියාවේම සිටි දක්‍ෂතම සටන් ශූරයා වූ බවට පෘතුගීසි ලේඛනවල සටහන් තබා ඇත. රටේ රාජ්‍යය තවදුරටත් අස්‌ථාවර වූයේ කෝට්‌ටේ දොන් ජුවාන් ධර්මපාල 1580-08-12 දින ලියවා 1583-11-04 දින අත්සන් තැබූ මල්වානේ ගිවිසුම් නිසාවෙනි. මේ වන විට පෘතුගීසීන්ගේ වෙළෙඳ බලය මෙන්ම කතෝලික ධර්මයද රටේ තහවුරු වෙමින් පැවතියේ 1585 සෙංකඩගල රාජ්‍ය හෙබවූ යමසිංහ බණ්‌ඩාරද 1591 වන විට ලිස්‌බන් නුවරට පලා ගොස්‌ දොන් ජාවෝ නමින් පෙනී සිටිමින් පමණක්‌ නොව තෙල්හිරියාස්‌හි පල්ලියක්‌ද ඉදිකර දුන් නිසාය. ඔහු අවුරුදු හැට හතරක්‌ ආයු විඳ 1642 ඒ රටෙහිම මිය ගියේය. උඩරට රාජ්‍යයේ මෙවැනි අර්බුධකාරී තත්ත්වයක්‌ ඇතිවීම පෘතුගීසීන්ගේ වාසියට හේතුවන්නේ 1592 වන විට සීතාවක රාජසිංහද අභාවයට පත්ව සීතාවක රාජධානියද බිඳ වැටී ගිය බැවිනි.

දන්තුරේ මහ සටන

අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා පෘතුගීසීන් විසිදහසකින් පමණ සමන්විත යුද්ධ සේනාංක දෙකක්‌ මන්නාරමේ සිටද කොළඹ සිට ද සෙංකඩගල රාජ්‍ය අත්පත් කර ගැනීම සඳහා පිටත්කර එවන ලදී. මේ වන විට මන්නාරමේ පෘතුගීසීන්ගේ රැකවරණය යටතේ රැඳී සිටි දෝන කතිරිනා පෙරටු කොටගත් සේනාංකය මෙහෙය වූයේ දක්‍ෂ සේනාපතියකු වූ ලෝපස්‌ ද සෞසාය. කොළඹින් ගමන් ඇරඹි සේනාංකයට මැණික්‌කඩවරදී අරිට්‌ඨකීවෙන්ඩු පෙරුමාල් නම් ජයවීර බණ්‌ඩාර නමින් පෙනී සිටි සීතාවක රාජසිංහගේ අභාවයෙන් පසු බලය ලබාගත් තැනැත්තා ද එක්‌ විය. යුද්ධ ශිල්පය හැදැරු පුහුණු සොල්දාදු පිරිසක්‌ සිංහල රජුට නොසිටි බැවින් සටනට බැස්‌සේ ගමේ ගොවිතැන් කටයුතුවල නියුතුවූ සාමාන්‍ය ගැමි පිරිස්‌ය. බලන කපොල්ලෙන් කොළඹින් ආ පිරිස දන්තුරේ යක්‌දුරේවෙල සටන් භූමියට පිවිසියෝය. මන්නාරමෙන් ආ පිරිස පිළිබඳව රහස්‌ ඔත්තුකරුවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව නගරයේ පිරිස්‌ ඉවත් කර පෘතුගිසීන්ට ඉඩදීමට කොනප්පු තීන්දු කළේ නිරපරාදේ සිදුවිය හැකි මිනිස්‌ ඝාතන වැළැක්‌වීම සඳහාය. එය කොනප්පු බණ්‌ඩාරගේ යුද්ධ උපක්‍රමයක්‌ විය. පෘතුගීසීහු කුසුමාසන දේවිය සෙංකඩගල රැජින වශයෙන් ප්‍රකාශ කර ඇගේ අත ගැනීම සඳහා ප්‍රැන්සිස්‌ කෝ ද සිල්වා නැමැති පෘතුගීසි සෙනෙවියෙක්‌ එවීය. සටනට නායකත්වය දෙන පෘතුගීසි සේනාපති ලෝපස්‌ තම පුත්‍රයා වූ දියෝගුද සෞසාට කුමරිය පාවා දීමට සැලසුම් සකස්‌ කළ අතර ජයවීර බණ්‌ඩාරද තම ඥති පුත්‍රයෙකුට කුමරිය ලබා දීමට උත්සාහ කළේය. මේ තිදෙනාගෙන් කවරෙකුට කුමරිය හිමි උනත් නිරායාසයෙන්ම මේ රට පෘතුගීසීන්ගේ යටත් විජිතයක්‌ වනු ඇත. කුමරිය නිර්භීතව ප්‍රකාශ කළේ උඩරට රාජ්‍යයට පිය උරුමයෙන් හිමිකමක්‌ ඇති තමා කිසි ලෙසකින් පෘතුගීසිකාරයකු තම සහකාරයා කර නොගන්නා බවය. මේ අතර සොයා කිනිස්‌සකින් ඇන ජයවීර බණ්‌ඩාර මරා දැමීය. ජයවීර බණ්‌ඩාරගේ පිරිස්‌ දහස්‌ ගණනක්‌ කොනප්පු බණ්‌ඩාරට එක්‌ වූ අතර දන්තුරේ යක්‌දුරේ වෙල්යාය එකම සටන් බිමක්‌ විය. එදා යක්‌දුරේ වෙල්යාය එකම ලේ විලක්‌ කළ මෙම සටන් බිමෙහි ලෝපස්‌ සෞකා සමග සිංහලයන් එක්‌දහස්‌ දෙසිය විසිහතරක්‌ද විය. අනෙක්‌ ජාතීන් එක්‌දහස්‌ දෙසිය අසූවක්‌ හා කලිගු තෙලිගු කන්නඩි උරුමුසි කවිසි අරාබි ඉස්‌බසී ජවක කොංගන චීන පරාසි සටන්කරුවන් සමඟ යුද්ධ ඇතුන් හතළිස්‌හත් දෙනෙක්‌ අලි නවසිය හතළිස්‌ පහක්‌ හා තවලම් ගොනුන් දහනව දහස්‌ නවසීයක්‌ද සටන් බිමෙහි සිටියහ. කොනප්පු බණ්‌ඩාරගේ යුද්ධ පෙරමුණෙහි සටියේ දෙනුවර දුම්බර හේවාහැට සෙංකඩගල ආදී ප්‍රදේශවලින් එකතු වූ යුද්ධ සටන් වලට පුහුණු නොවූ සාමාන්‍ය ජනතාවය. නමුත් යුද්ධ පුහුණුවලත් ඇතුන් එකසිය විසි අටක්‌ද අලි එක්‌දහස්‌ හත්සිය හතලිස්‌පයක්‌ ද විය. සටනට සිංහලයන්ට නායකත්වය දුන් යුද්ධ සෙනෙවි වූ සරණ යුද්ධ සෙනෙවි අශ්වයා පිට නැගි වම් අතට සෙබළු තිස්‌තුනක්‌ද දකුණින් සිංහයා මුඛ කැපී කසය ගෙන සතුරන් පරදවා ජය ලබා දුන්නේය. රජ වූ පසු විමලධර්මසූරිය කඩුතල අටක්‌ද මාණික්‍ය රත්නයක්‌ද යුද්ධ ඇඳුමද දොළුව ග්‍රාමයේ පිහිටි නෙලුම්විල ඒ එකමුණු පල්ලාහක්‌ද හේවා බණ්‌ඩාර නාමයද මහලේකම් පයින්ඩදුරයද ඔහුට ලබා දුන්නේය. මෙම සටන සිංහල ජාතියටම අතිශය තීරණාත්මක සටන වන්නේ ජයග්‍රහණයෙන් පසු දෝන කතිරිනා පෘතුගීසිකාරයකු පාවා ගෙන හෝ කොනප්පු පෘතුගීසින්ගෙන් තාන්න මාන්න හා වරප්‍රසාද ලබාගෙන ආපසු ගෝවට ගියේනම් එදා සිංහල ජාතියේ අවසානය වනු නියත නිසාය.
දන්තුරේ සටනින ජයගත් කොනලප්පු විමලධර්මසූරිය නමින් ඔටුනු පළන් 1594 දී දෝන කතිරිනා නමින් පෙනීසිටි කුමරිය තම බිසව කොටගෙන රාජ්‍ය පාලනය කරමින් සිටි 1604 මැයි මස අභාවප්‍රාප්ත වූ බව “සිලෝන් ලීටරරි රිජිස්‌ටාර් හි සඳහන්ය. මෙම රජ යුවළ නිසා සිංහලේ 1815 දක්‌වා නිදහස්‌ රටක්‌ව පැවතියේය. කුණ්‌ඩසාලේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ තෙක්‌ 1739 දක්‌වා ශත වර්ෂ දෙකක්‌ පමණ අඛණ්‌ඩ සිංහල රජපරපුරක්‌ අපට දායාද විය. බෞද්ධාගම රාජ්‍ය ආගම බවට 1815 උඩරට ගිවිසුමෙන්ද පිළිගෙන අද දක්‌වාම ව්‍යස්‌ථාපිතව ඇත්තේ ද මේ රාජකීයන් නිසාය. එපමණක්‌ නොව ශ්‍රී දළදා මාලිගය සෙංකඩගල ඉදි කරවා දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක්‌ යට සඟවා තිබූ දන්ත ධාතුව ගෙනවිත් අද දක්‌වා ආරක්‍ෂා වන්නේද අභාවයට ගිය උපසම්පදා විනය කර්මය බුරුම රටින් ගෙනවුන් ආරක්‍ෂා කළේද මෙම දෙපළය. බුද්ධ ශාසනයෙහි සංඝරාජ මහානායක අනුනායක ආදී නායක කාරක පදවි අද දක්‌වා පවතින්නේද විමලධර්මසූරිය මහරජ කුසුමාසන දේවි එකතුවූ නිසාය. සමස්‌ත ලෝක බෞද්ධ ජනතාවගේම ප්‍රණාමය හා ගෞරවය හිමිවිය යුතු මෙම රාජකීය යුවළ වෙනුවෙන් සෙංකඩගල නුවර අනුස්‌මරණ පිළිරුවක්‌ හෝ නැතිවීම කනගාටුවට කරුණකි.

11.වීර පුරන්අප්පු

වීර පුරන්අප්පු උපත ලැබුයේ 1812 හි නොවැම්බර් හත්වැනිදාය. ඒ මොරටුවේදීය. එහෙත් ඔහු ගම්මුලාදැනියා සමඟ ඇතිකරගත් ආරවුලක්‌ මත මොරටුව හැර දමා වයස අවුරුදු දහ තුනේදී පමණ රත්නපුරයට ආවේය. 1848 දී පමණ ඔහු විවාහ ජීවිතයට ඇතුළත් විය. කෙසේ වෙතත් පුරන්අප්පු ගම්මුලාදෑනියා සමඟ ආරවුල ඇතිකර ගත්තේ නිසරු කරුණකට නොවේ. එනම් ඔහු උපත ලද එම ගම්මානයෙහි අසරණ පවුල් කීපයක්‌ම එදා ජීවත් වූයේය. එයින් එක්‌ පවුලකට ගම්මුලාදෑනියා බෙහෙවින් කරදර හා හිරිහැර කළේය. ගම්මුලාදෑනියාගේ එම කෲරකම් හමුවේ පුරන්අප්පු හුදෙක්‌ම දුටුවේ යුක්‌තියේත් සාධාරණත්වයේ හා සමානාත්මතාවයේත් මළගමක ලකුණුය. ඔහුට එය කිසිසේත් ඉවසුම් දෙන්නක්‌ නොවීය. ඔහු ගම්මුලාදෑනියාට බිම වැටෙනතුරු පහර දුන්නේත් ඉන් ඉක්‌බිතිව රත්නපුරයට පැමිණියේත් මේ හේතුවෙනි. සාධාරණත්වය හා යුක්‌තිය වෙනුවෙන් සටන් කළ වීර පුරන් අප්පුගේ නිර්භීතභාවයෙහි සමාරම්භය මේ යෑයි සඳහන් කළ හැකිමුත් ඔහු රත්නපුරයට පලා ගියේ බියගුලුකමක්‌ නිසා නොවේ. ගම්මුලාදෑනියාගේ ද්වේශයට ලක්‌වීමට වඩා පිටමංව යැම යෙහෙකැයි සිතූ හෙයිනි. එයින් පසුව බදුල්ලටත්, හල්දුම්මුල්ලටත් ගිය ඔහු එයින් පසුව උඩරට ප්‍රදේශයට පැමිණියේය. ඇත්තෙන්ම පුරන්අප්පු සිංහලයාගේ අපූරු උරුමය බවට පත්වන්නේද මෙතැන් සිටය. මේ වන විට සිංහල රාජධානියෙන් අඩකටත් වඩා ඉංග්‍රීසි ජාතිකයන්ගේ අණසකට යටත්වී තිබුණේය. ඊට එරෙහිව සිංහලයන් කෙරෙන් නැඟුණු සටන් ගිනිදැලින් බොහෝ තැන් දැවී තිබිණි. එහෙත් ඒ සටන් බොහොමයක්‌ම සිංහලයනට අත්පත්කර දුන්නේ සතුටුදායක ජයග්‍රහණයක්‌ නොවේ. කැප්පිටිපොල, කොහුකුඹුර වැනි වීරයන් බොහෝ දෙනකුටම එහිදී සිදු වූයේ දේශප්‍රේමී සටන්වලින් පමණක්‌ නොව ජීවිත සටනින්ද මුළුමනින්ම සමුගැනීමටයි. මෙයින් රාජධානිය පුරාම කවර තත්ත්වයක්‌ ඇතිවී තිබුණේ දැයි කියතොත් සිංහල රාජධානිය පැවතියේ එකම පාළු හුදෙකලා තත්ත්වයකය. එම තත්ත්වය මුළුමනින්ම වෙනස්‌කොට එයින් පලාගිය සියලු සාශ්‍රීකත්වයක්‌ එයට යළි රැගෙන ආ යුතු යෑයි පුරන්අප්පු තරයේ සිතට ගත්තේය. ඒ සඳහා ඔහු මුලින්ම කළේ සිය මාමාගෙන් ඉංග්‍රීසි බස චතුර ලෙස කතාකරන්නටත්, ලියන්නටත් දැන ඉගෙන ගැනීමයි. එමෙන්ම ඔහු එය හොඳින්ම සපුරා ගත්තේය. ඔහු එසේ කළේ හේතුවක්‌ ඇතිවය. වැඩිදුරටත් සඳහන් කළහොත් පුරන් ඉංග්‍රීසි උගත්තේ එය හිස උදුම්මා ගැනීමෙහිලා කදිම වූ මෙන්ම ව්‍යාප්තම වූද ඔටුන්නක්‌ බවට පත්කර ගැනීමට නොවේ. ඉංග්‍රීසි ඉගෙන ගැනීමෙන් සිංහල රටත්. සිංහලයාත් තලන පෙළෙන විදේශිකයාට තේරුම් ගත හැකි පරිදි උත්තර දිය හැකි යෑයි පුරන් කල්පනා කළේය. ඉංග්‍රීසි බස ඒ ඔස්‌සේ මැනවින් ඉගෙන ගත් පුරන්අප්පු සිංහලේ අවසන් රාජධානිය යටත්කර ගැනීම හා රදළ අධිකාරම්වරුන්ගේ පාවාදීම් පිළිබඳව ලියැවුණු සියලු දේ කියැවූයේය. කෙමෙන් කෙමෙන් පිරිහීමට පත්වන හෙළ දිවයින මෙන්ම එහි මිනිසුන්ගේ ජීවිතය, නිදහස හා අයිතිවාසිකම් පිළිබඳවත් ඒවායින් ඔහුට මනාව වටහා ගත හැකි විය. එම සියලුම වූ වැටහීම් තුළින් වීර පුරන්අප්පු තුළ ඇතිවූයේ ලක්‌ දෙරණ විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ පිරිසිදු චේතනාවයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලන ව්‍යුහය හා බැඳී පැවැති ජන පීඩක අමානුෂිකවාදිත්වය එම පවිත්‍ර අරමුණ ජය ගැනීමෙහිලා ඔහු තුළ වූ එම බලාපොරොත්තුව තව තවත් දල්වාලීය. එයට හොඳම උදාහරණයක්‌ වන්නේ වර්ෂ 1948 කාලය තුළ පැවැති එවක සමාජ වාතාවරණයයි. රටේ බොහෝ ප්‍රදේශවල සුදු අධිරාජ්‍යවාදීන් මේ කාලයේ කෝපි වගාව ව්‍යාප්ත කර තිබුණේය. එතෙකුත් ඔවුන්ට එමගින් අපේක්‌ෂිත ලාභ කිසිවක්‌ ලබා ගැනීමට හැකි නොවීය. හදිසියේ පැනනැඟුණු රෝගයකින් වගාව විනාශ වී යැම ඊට හේතු විය. ඒ අලාභ පියවා ගැනීමෙහිලා විදේශීය පාලකයෝ රට පුරා විවිධ බදු ක්‍රම පනවා ක්‍රියාත්මක කිරීමට පියවර ගත්හ. ඒ 1848 හි ජුලි මාසයේ පළමුවැනිදාය. තුවක්‌කු බද්ද එසේ පැනවූ බදු අතර එකක්‌ විය. කරත්ත බද්ද තවත් බද්දක්‌ විය. සාප්පු බදු ඇඟ බදු, බලු බදු ආදී වශයෙන් බදුවල කෙළවරක්‌ නොවීය. කිසියම් ගෙදරක බල්ලෙකු ඇතිකිරීමට අවශ්‍ය නොවීය. කුසගින්නේ ගිය බල්ලකු කිසියම් ගෙදරකට වැදී ඉවතලන බත් මිටක්‌ හෝ කමින් සිටිනු දුටුවහොත් බල්ලන් ඇතිකරතැයි පවසා එහිලා බදු මුදල් අය කිරීමට අදිරදවාදීහු වහා ක්‍රියාත්මක වූහ. ඔවුන්ගේ එම අසාධාරණ පිළිවෙත වඩාත් පණවත් කිරීමෙහිලා විදේශීය පාලකයන්ට කත් අදිමින් සිටි පරගැති සිරිත්වලට ආ වැඩූ ඇතැම් ගම්මුලාදෑනීහු මහ මෙහෙවරක්‌ ඉටුකළහ. වීර පුරන්අප්පුට එය කිසිසේත් ඉහිලුම් නොදුන්නේය. ඊට දැඩි විරෝධයක්‌ ද පෑ ඔහු ඊට සම්බන්ධ වූ බොහෝ අයවලුනට උස්‌ පහත් භේද නොතකා අත දිග හැර පහර පිට පහරද දුන්නේය. උක්‌කු බණ්‌ඩාගේ ගෙදර සිදුවූ මේ සිදුවීම එයට හොඳම සාක්‌ෂියක්‌ සපයයි. උක්‌කු බණ්‌ඩා එනම් එදා උඩරට ප්‍රදේශයේ ජීවත්වූ ඉතා දුම්පත් මිනිසෙකි. කෑමට යමක්‌ සොයා සපයාගත නොහැකිව කුඩා බලු පැටවෙක්‌ ඔහුගේ නිවසට විත් ගුලිවී නිදා සිටියේය. ආරච්චිල නැතහොත් ගම්මුලාදැනියා ඇතුළු පිරිසක්‌ ඒ සඳහා බලු බද්ද අයකර ගැනීමට උක්‌කු බණ්‌ඩාගේ ගෙදරට පැමිණියේය. පැමිණ නිකම් බලා සිටියේ නැත. අසරණ උක්‌කු බණ්‌ඩාට සැර වැරකොට ඔවුහු ගෝරනාඩු ද කළෝය. මොහොතක්‌ ගතවූයේ නැත. කනින් කොනින් ඒ ගැන කනවැකුණු වීර පුරන්අප්පු වේගවත් ගමනකින් පැමිණ නතර වූයේ උක්‌කු බණ්‌ඩාගේ ගෙපැලේය. “කෝ ගෙනෙව් ඔය බලු කුක්‌කා මෙහාට කී පුරන් කෑ ගැසුවේය. ඔහුගේ අණින් ලිප්බොක්‌කේ නිදා සිටි බලු පැටියා ආරච්චිරාළ ඉදිරියට පැමිණියේ තවත් අසරණ ගැමියෙකුගේ ආධාරයෙනි. එක්‌වරම ආරච්චිලගේ බෙල්ල අල්ලාගත් පුරන් ඔහුගේ මුව බලුපැටවාගේ වසුරුමගෙහි ගෑව්වා පමණක්‌ නොව ඔහු අත තිබූ බලු බදු ලෙස අයකරගත් සියලුම මුදල් ද උදුරා ගත්තේය. එම මුදල් සියල්ල උක්‌කු බණ්‌ඩාට ප්‍රදානය කළේය. අසාධාරණ බදු පැනවීමට එරෙහි වූ පුරන් එයින් නොනැවතී ඊට විරෝධය පළ කළ පෙත්සමක්‌ද රැගෙන ගොස්‌ ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයාගේ නිල නිවසේ බිම මහ හඬින් කෑ ගැසුවේය.
පුරන්අප්පු තුළ පැවැති ජාති මාමක බව නිර්භීත බව පමණක්‌ නොව බුදු දහමට තිබූ දැඩි ළෙන්ගතුව හා ආදරයද මතුවී පෙනෙන කතාත් පුරන්ගේ උදාර ජීවන චරිතාපදානය තුළ විරල නොවේ. මේ දුලබ කතා පුවත ඒ බව හෙළිකරන අපූරු කැඩපතක්‌ වැන්න. එක්‌දහස්‌ අටසිය පහළොවේදී අත්සන් කළ ගිවිසුමට අනුව බුද්ධාගම හෝ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ ගෞරවනීය ලෙස ආරක්‌ෂා කිරීමට අදිරදවාදී පාලකයෝ පසුකාලීනව ක්‍රියා නොකළහ. බදු ගෙවිය නොහැකි නම් භික්‌ෂූන් පවා පාරේ වැඩ කළ යුතු බව ඔවුන්ගේ මතය විය. එය පුරන්අප්පුගේ කලකිරීම පමණක්‌ නොව කෝපයද වඩාත් තියුණු කළේය. “කවදද බොලව් මේ සිංහල බෞද්ධ රටේ බුද්ධ පුත්‍රයන් වහන්සේල වහල් වැඩ කළේ” පුරන් පර සුද්දන් රටින් අතුගා දැමීමට සේනා සංවිධානය කළේය. උඩුදුම්බර, හේවාහැට, පාතදුම්බර, මාතලේ, මහනුවර මෙන්ම කෑගල්ල ප්‍රදේශයද ඇවිද ගිය ඔහු එහිලා තරුණයන් දහස්‌ ගණනින් උද්යෝගිමත් කළේය. “පුරන් අයියණ්‌ඩි උඹ පෙරමුණ ගන්නව නම් අපි එක පියන්” යි තරුණයෝ පුරන් වටා එක්‌වී රොද බැඳ ගත්හ. කඩු, දුනු ශිල්පයන්හි නිපුණත්වය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙන්ම තුවක්‌කු හෙවත් ගිනි අවි හරඹය පුහුණුවීමේ වැදගත්කම ගැන ද පුරන් මෙහිදී කරුණු පැහැදිලි කර දුන්නේය. එපමණක්‌ නොව එයට අවශ්‍ය කටයුතු ද සම්පාදනය කළ පුරන් තරුණයන්ට ඒ පුහුණුව රහසේම ලබා ගැනීමට අවැසි සියලු කටයුතු ද සලසා දුන්නේය. පුරන් පිළිබඳව සුද්දන් තුළ පැවැති අවධානය වඩාත් වැඩි වූයේ මෙතැන් පටන්ය. සුද්දෝ පුරන් අප්පු ගැන වඩාත් විමසිල්ලෙනුත්, සෙවිල්ලෙනුත් සිටියෝය. එහෙත් පුරන්ගේ සූක්‍ෂ්මෝපායයන් හමුවේ ඔවුනට ඔහු පිළිබඳව සොයා ගත හැකි කිසිවක්‌ නොවීය. පුරන්අප්පු සෑම විටෙකම සෑම තැනකම කටයුතු කළේ විවිධ වෙස්‌ ගනිමින් වෙස්‌ වලාගෙනය. ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයාට මෙය ඉමහත් වූ වදයක්‌ වී තිබුණේය. කෙසේ හෝ පුරන්අප්පු අල්ලා සිර කිරීමට හෙතෙම පිඹුරුපත් සකස්‌ කළේය. ඒ සඳහා ටොරින්ටන් එවක බදුල්ලේ සේවය කළ මේජර් රොජර් කොළඹට ගෙන්වා ගත්තේය. ඔවුනොවුන් අතින් කෙසේ හෝ පුරන් අල්ලන සැලසුම සකස්‌ විණි. පුරන්අප්පු සොයා දෙන්නකුට හෝ ඔහු ගැන හරි තොරතුරක්‌ ලබා දෙන්නකුට පවුම් දහයක්‌ දෙන බවටද උඩරට පුරා පණිවුඩයක්‌ ප්‍රසිද්ධ කළේය. ජාතිද්‍රෝහියකු වූ උඩුනුවර ආරච්චිල පවුම් දහයට කෑදරවී පුරන් පාවා දුන්නේය. ඒ අනුව මහනුවර මුලාදෑනි වලව්වේදී පුරන් අත්අඩංගුවට ගැනීමට සැරසිණි. ඒ අනුව එහි ගියේ මේජර් රොජර් ඇතුළු අශ්වාරෝහක පොලිස්‌ භටයන් කිහිප දෙනෙකි. “මම මේජර් රොජර්” අසු පිට සිටිමින්ම මේජර් එහි උන් පුරන් ඇමතුවේය. “උඹ මොකා වුණත් මට කාරි නෑ. මේ අවේලාවේ ගෙවල්වලට ආ කාරණේ මොකක්‌ද? කියාපිය” බියක සේයා සෙවණැල්ලකුදු සිත තුළ නොවූ වීරපුරන්අප්පු වහා කතා කළේය. කට වසා ගන්නා ලෙස කී මේජර් පුරන් අප්පු උඹදැයි අසා සිටියේය. “නෑ… නෑ..මම වීර සන්නද්ධ වීර බලජයසූරිය කරු උතුම්පාල අර්ථදේව ඥානරත්න පටබැඳිගේ පුරන්අප්පු” යි පුරන් මේජර්ට ප්‍රතිඋත්තර දුන්නේ කිසිම පැකිළීමකින් නොවේ. මේ රසවත් වීර සංවාද අතරින් එක්‌කරගෙන ගිය පුරන්අප්පුට එරෙහිව මහනුවර අධිකරණයේදී නඩු පැවරීමට ක්‍රියාකෙරිණි. ස්‌ත්‍රී දූෂණ චෝදනාවක්‌ ඇතුළු තවත් විවිධ චෝදනා ගණනාවක්‌ එහිදී වීර පුරන්අප්පුට එරෙහිව එල්ල කළේය. නඩුව විභාග කිරීමට පැමිණියේ ඩෝසන් නමැති විනිශ්චයකාරවරයාය. නඩුව ඇසීමට පෙර පුරන්ගෙන් දිවුරුම් ගන්නා ලෙස ඩෝසන් තෝල්කයාට නියම කළේය. ඒ සඳහා තෝල්ක ගෙනාවේ බයිබලයයි. බයිබලය මත අත තබා දිවුරුම් දීමට තමා කිසිසේත්ම සූදානම් නැතැයි පැවැසූ පුරන් අප්පු බණ පොත ගෙනෙන ලෙස උස්‌ හඬින් කීවේය. බණ පොත ඉංග්‍රීසි ආණ්‌ඩුවට වලංගු නැතැයි තෝල්කයා කීවේය. එයට වහා වහසි බසින් පිළිතුරු දුන් පුරන්අප්පු බයිබලය සිංහල ආණ්‌ඩුවටද වලංගු නැති බව පැවසුවේය. අන්තිමට නුවර දළදා මාළිගාවෙන් බණ පොතක්‌ ගෙනැවිත් ඒ මත අත තබා දිවුරුම් ගන්නට සිදුවූයේ විනිසුරු ඩෝසන්ට වෙනත් කළ හැකි කිසිවක්‌ නොවූ හෙයිනි. මුලින් උසාවියේදී පුරන්අප්පු වෙත එල්ල කළේ ස්‌ත්‍රී දූෂණයකට අදාළ චෝදනාවකි. එය ඔප්පු කිරීම සඳහා දඩාවතේ ගිය වනචර සුද්දියක්‌ද උසාවියට දක්‌කාගෙන විත් තිබුණේය. නඩුත් හාමුදුරුවන්ගේය බඩුත් හාමුදුරුවන්ගේය යන කියමන සනාථ කරමින් ඩෝසන් නිවැරදිකරු වූ පුරන්අප්පු සිරකිරීමට අණ කළේය. එහෙත් පුරන් සැලුනේ නැත. වෘක විනිසුරුකරුට කිසිම ගරු සරුවක්‌ නොකළ ඔහු මෙසේ කීවේය. “ඩෝසන් මේ අපේ සිංහල රට විනාශ කරන තවත් එක පර සුද්දෙක්‌ උඹ තොගෙ වල්බූරු නීතියට අපි ගරු කරන්නෙ නෑ. අනිත් එක තොපිට මේ රට තවදුරටත් සූරාකමින් දූෂණය කරන්න මේ පුරන්අප්පු ඉඩ තියෙන්නෙ නෑ. එය ක්‍රියාවෙන්ම ඔප්පු කළ පුරන්අප්පු පරදේශීය සුද්දන්ගෙන් සිංහල දීපය මුදා ගැනීමට ජීවිතය පවා නොතකා සටන් කළේය. කුරුණෑගලදී සිදුවූ සටනින් ඒ බව පෙනේ. එමෙන්ම උඩරට ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ බොහොමයක පැවැති අධිරාජ්‍ය විරෝධී සටන්වලට පුරන්අප්පුගේ අභීත නායකත්වයෙන් ලැබුණේ වචනයෙන් පවා විස්‌තර කළ නොහැකි පණවත් බවකි. පුරන් තුළ තිබූ මේ අතිශය නායකත්ව දක්‌ෂතාව නිසා 1848 හි ජුලි මස විසිහය වැනිදා ඔහුට කන්ද උඩරට රජ කිරුළද පැළැන්දුවේය. එය පැළැන්දුවේ කුඩාපොළ හාමුදුරුවන්ය. එතැන් පටන් වීර පුරන්අප්පු හැඳින්වූයේ “වලිසිංහ රඡ්ජුරුවෝ” යන නමිනි. ඉන්පසුව රාජකීය කඩුවද පිළිගැන්වූ ඔහු කෙරෙන් මැනවින් දෘශ්‍යමාන වූයේ රට, දැය බේරාගැනීමට හදිසියේම පහළවූ සූර වීර ධීර වූ නියම සිංහල රජවරයකුගේ අභිමානවත් ස්‌වරූපයයි. මෙම උත්කෘෂ්ට ස්‌වරූපය වීර පුරන්අප්පු කෙරෙන් පිළිබිඹු වී පෙනුණේ එක්‌දහස්‌ අටසිය දහ අටේ කැරැල්ලෙන් පසු කාලයේ සිටමය. ඉංග්‍රීසීන් පොරොන්දු වූ පරිදි සිංහල රටේ, රටවැසියාගේ හෝ බුදුදහමේ හෝ උන්නතියට කිසිදු අනුග්‍රහයක්‌ අනුබලයක්‌ ලැබුණේම නැත. සූරාකෑමෙන් සේම විවිධ පීඩනයන්ගෙන්ද සිංහල රටත් රටවැසියාත් වෙලී තිබුණේය. වීර කැප්පිටිපොල, කොහුකුඹුර, බූටෑවේ. උණගස්‌ගොල්ලරාළ හා බදුල්ල ගම්මන හාමුදුරුවන් වැනි වීර සිංහල මහා සෙනෙවිවරු ඒ අනුව සුදු අධිරාජ්‍යවාදයටත් එහි ගැත්තන් හා ඉත්තන්ටත් විරුද්ධව මහා සටනක්‌ දියත් කළහ. එහි උච්චතම අවස්‌ථාව වූයේ 1818 කැරැල්ලයි. එහෙත් අවාසනාවකට මෙන් ජාතිද්‍රෝහී සිංහලයන්ගේ පාවාදීම් හමුවේ මේ දුර්ලභ සිංහලයන් බොහෝ දෙනකුටම සිදුවූයේ ඇස්‌, හිස්‌, මස්‌, ලේ පමණක්‌ නොව රට දැය සමය වෙනුවෙන් සිය ජීවිතය පවා දන් දෙන්නටයි. එයින් පසුව අතරමඟ නැවතී තිබුණු සිංහලයන්ගේ ගරා වැටුණු නිදහසේ සිහිනය කෙදිනක හෝ සැබෑකර දෙන්නට මහා මෙහෙවරක්‌ කළේ වීර පුරන්අප්පුය. ඔහුගේ එම මහා මෙහෙවර පිළිබඳව කිව යුතු බොහෝ දේ මේ සටහනෙහි නැත. එතෙකුදු වුවත් අපට ඔහුගේ මහා මෙහෙවර පිළිබඳ වූ සුළුයම් හෝ විචිත්‍ර සිත්තමක්‌ මේ ඔස්‌සේ අප සිත් සතන් තුළ අපට මවාගත හැකි යෑයි හැඟේ.

12.වීර කැප්පෙටිපොළ නිලමේ තුමා

උඩරට ස්‌වාධීන සිංහල රාජ්‍යය හැරෙන්නට ශ්‍රී ලංකා ධරණී තලයේ සෙසු කොටස අධිරාජ්‍යවාදීන්ට නතුව පැවැති යුගයයි. සිංහලේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පීඩාකාරී පාලනයෙන් මිදීම සඳහා අධිරාජ්‍යවාදීන්ගේ සහාය පැතූහ. ඉන් ප්‍රයෝජන ගැනීම සඳහා උපක්‍රමශීලී වූ ඉංග්‍රීසිහු 1815 මාර්තු මස 02 වැනිදා ගිවිසුමකට එළැඹියහ. ඒ ගිවිසුම අනුව කන්ද උඩරට රාජ්‍යයද අධිරාජ්‍යවාදීන්ට නතු විය. එළැඹුණ ගිවිසුමේ වගන්ති, කොන්දේසි ඉංග්‍රීසීහු කඩ කරමින් උඩරැටියන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝණය කරමින් බදු බර පටවමින් ජනතාව පීඩාවට පත් කරන්නට පටන් ගත්හ. මේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත කෙරෙහි දේශයට, ජනතාව ආදරය කලෝ සිත තුළින් උරණ වූහ. ස්‌වෛරීත්වයට එරෙහිවූ නිසාම ඊට එරෙහිවූ බොහෝ ස්‌වදේශීය බලවේග මතුවීමට පටන් ගත්තේ මෙවැනි පසුබිමක්‌ තුළදීය. ඌව වෙල්ලස්‌ස පුරා ගිනි පුපුරු මෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන් ඇවිළී ගියේය. හුදෙක්‌ ඒ සටන් නොව ස්‌වෛරීත්වය ලබාගැනීම සඳහා එකමුතුවූ කැරැල්ලකි. මේ කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ආණ්‌ඩුකාර ජෝන් ඩොයිලි විසින් තෝරාගත්තේ මොණරවිල කැප්පෙටිපොල නිලමේ වරයායි. 1817 නොවැම්බර් මස 01 දින ඉංග්‍රීසි හේවායෝ ආයුධ සන්නද්ධව ලබාදී කැරැල්ල මැඬපැවැත්වීමට භාර කළහ. පිරිස සමඟ ඌව වෙල්ලස්‌සට ගිය මේ අභීත රණවිරුවා ඉංග්‍රීසි හමුදාවෝ ආපසු හරවා එවා සිංහලය එක්‌සේසත් කිරීමට කැරැලිකරුවන්ට එක්‌ විය. ඒ දේශයේ අනාගතය රැක ගැනීම සඳහා සිය මෙහෙවර ඇවැසි යුගයක්‌ බවට පසක්‌ කර ගනිමිනි. මෙයින් කෝපයට පත් ඉංග්‍රීසි පාලකයෝ කුපිත වූහ. 1818 ජනවාරි මාසයේදී මේ අභීත රණවිරුවා සතු සියලුම දේපළ රාජසන්තක කළහ. රණවිරුවා අල්ලා දෙන ඕනෑම අයකුට පගෝදි දහසක්‌ ලබාදෙන බවද පැතිර වූහ.
ඌව වෙල්ලස්‌ස, වියලුව, වලපනේ ඇතුළු ප්‍රදේශ ගණනාවක්‌ පුරා දේශයේ රැක්‌ම සඳහා ගෙන ගිය අරගලය මැඬපැවැත්වීමට ඉංග්‍රීසි පාලකයෝ අසමත් වූහ. මේ අතර ඌව වෙල්ලස්‌ස ජනතාව එක්‌ව කිවුලේ ගෙදර මොහොට්‌ටාල විසින් ගෙනැවිත් තිබූ රාජාභරණ පළඳවා රාජ්‍යත්වයට පත් කළ දොරේසාමි කුමරු කන්ද උඩරට සංචාරය කරමින් කැරැල්ල සවිමත් කිරීමට පියවර ගෙන ඇත. එයට නව පණක්‌ කැප්පෙටිපොල නිළමේවරයා විසින් ලබා දෙන ලදී. මෙහි තුන්දහසකට අධික ජනතාවක්‌ රොක්‌වූ බවද සඳහන් වේ. කැරැල්ලට නව පණක්‌ ලැබිණි. 1818 ජුනි මාසය වන විට ඉංග්‍රීසීහු කන්ද උඩරට අතහැර මුහුදුකරයට පලා යනු ඇතැයි විශ්වාස කළත් නොසිතූ ලෙස එහි වාසිය නැවත ඉංග්‍රීසින් අතට පත්වූහ. ඒ කේරළයේ සිට අතිරේක බළ ඇණි ලැබීම නිසාය. ඔවුහු දේපළ වනසා දමමින් අහිංසකයන් ඝාතනය කරමින් උඩරටට බරපතළ හානි සිදු කළහ. මේ අතරතුර කැරලිකරුවන් අතර වූ විවිධ මත භේද නිසාම දෝරේසාමි කුමරු සහ කැප්පෙටිපොල නිළමේවරයා ඉංග්‍රීසීන්ගේ අතට පත්වූහ. ඉංග්‍රීසීන්ට කත් ඇද්ද ඇතැමුන්ගේ තොරතුරත් මත කහල්ල ප්‍රදේශය වැටලූ ඉංග්‍රීසි හමුදාවෝ එම ප්‍රදේශයේ නිවසක සිටි කැප්පෙටිපොල, පිළිමතලාවේ, මඩුගල්ලේ නිළමේවරුන් අල්ලා ගත්හ. මෙහිදී මඩුගල්ලේ නිළමේ මිදී පලා ගිය බවක්‌ ද සඳහන් වේ. කැප්පෙටිපොල විරුවා කවුරුන්දැයි දැන ගැනීම සඳහා වික්‌ෂිප්ත වූ ඉංග්‍රීසි හමුදාවෝ විපරම් කළහ. එහිදී මමයි කැප්පෙටිපොල යනුවෙන් දෙවරක්‌ම පවසා ඉංග්‍රීසි හමුදා නිලධාරියකුගේ අත අල්ලා ගැනීමට තරම් මේ අභීත රණවිරුවා පියවර ගෙන ඇත. ඉන් ඉංග්‍රීසින් මහත් උද්දාමයට පත්ව ඇත. අත්අඩංගුවට ගත් මේ රණවිරුවන් දෙදෙනා නොවැම්බර් මාසයේදී යුධාධිකරණය හමුවට පමුණුවනු ලැබීය. අධිකරණ තීන්දුව දෙදෙනාගේම හිස ගසා මරා දැමීමය. ඒ අවාසනාවන්ත දිනය නොවැම්බර් මස 26 බවත් බෝගම්බර බන්ධනාගාරයේදී හිස ගසා මරා දැමීමටත් නියෝගය ලැබිණි. ඒ අවාසනාවන්ත දිනය උදාවිය. මුළු කන්ද උඩරට පුරාම නිසල බවක්‌ දැනිණි. ගහකොළ නිහඬය. වෙනදා හඬ තලන කුරුල්ලන්ගේ හඬද නිසල වී ඇත. මෙදින නිළමේවරුන්ගේ ඉල්ලීම මත උදෑසනම දළදා මාලිගාවට ගෙන එනු ලැබීය. ඌවේ ඒජන්ත සමඟ සුහදව කථා බහ කළ රණවිරු කැප්පෙටිපොල නිළමේවරයා දළදා වහන්සේ අසල දණින් වැටී වැඳ පුදා ගත්තේය. තමන් කළ පිං ආවර්ජණය කළේය. මේ මරණින් තමන්ට නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කළ රණවිරුවා තමන් සතුව තිබූ පැළඳි කැප්පොට්‌ටිය ගලවා දළදා වහන්සේට පූජා කළේය. ඒ පිනෙන් කොටසක්‌ ඌව ඒජන්තවරයාටද අනුමෝදන් කිරීමට තරම් මේ මහා යුග පුරුෂයා නිවුනු අයෙක්‌ විය. ඌවේ ඒජන්ත සයිමන් සෝයර්ස්‌ මේ අභීත රණවිරුවාගේ කළගුණ සහ මිනිස්‌කම කෙරෙහි වචනයකුදු නොකී බවද සඳහන් වේ. අනතුරුව මේ රණවිරුවන් වධකාගාරය වෙත ගෙන එනු ලැබීය. එහිදී ඉනේ සඟවා ගෙන සිටි කුඩා පුස්‌කොළ පොතක්‌ අතට ගත් රණවිරු කැප්පෙටිපොල නිළමේවරයා සිය හිස දංගෙඩිය පෑවේය. කෙස්‌වැටිය අතින් ගෙන පිටුපසට කර ගත් පා ඇඟිලිවලින් කුඩා පඳුරක්‌ අල්ලා හිඳ ගත් මේ රණවිරුවා ගාථා කීපයක්‌ කියවා සිත සන්සුන් කර ගත්තේය. ඒ මිත්‍රත්වය අමතක නොවන්නට ඒ පුස්‌කොළ පොත ඌවේ ඒජන්තවරයාට තිළිණයක්‌ ලෙස පිළිගන්වනු ලැබීය. ඒ කළගුණ සිහිපත් කළ මේ අභීත රණවිරුවා තමන් බුදුගුණ ගයද්දී හිස වෙන් කරන ලෙස ගහලයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ගහලයා එක්‌ කඩු පහරක්‌ පතිත කළේය. හිස්‌ වෙන් නොවිණි. දෙවැනි කඩු පහරින් හිස වෙන් විණි. වෙන් වූ හිස සිරිතක්‌ ලෙස හිසකවන්ධනය මත තැබුවේය. මේ අභීත රණවිරුවාගේ හිස වළලා නොදමා පර්යේෂණ සඳහා ඉංග්‍රීසීහු එංගලන්තයට ගෙන ගියහ. එහි කෞතුකාගාරයේ තැන්පත් කරනු ලැබීය. ඥතීන්ගේ බලවත් ඉල්ලීම මත හිස්‌ කබල 1948 දී ශ්‍රී ලංකාවට ගෙනැවිත් කෞතුකාගාරයේ තැන්පත් කිරීමට ආදිපාද ග්ලෝස්‌ටර් පියවර ගනු ලැබීය. එසේ කෞතුකාගාරයේ තැන්පත් කරනු ලැබූ අභීත රණවිරුවාගේ හිස්‌ කබල ඥතීන්ගේ සහ ජනතාවගේ බලවත් විරෝධය නොතකා 1954 නොවැම්බර් මස 26 වැනිදා ශ්‍රී ළදදා මාළිගාව අභියස කොන්ක්‍රීට්‌ අතුරනයක්‌ යට තැන්පත් කරනු ලැබීය. එදා සිට මේ අභීත රණවිරුවාගේ ගුණ ගැයීම මේ ස්‌ථානයේදී සිදු කෙරේ.

13.වීර මද්දුම බණ්‌ඩාර

මද්දුම බණ්‌ඩාර ළමා වීරයාගේ පියාණන් වූයේ ඇහැලේපොල සෙනෙවිරත්න සේනානායක චන්ද්‍රතිලක විඡේසුන්දර දිසානායක අමරකෝන් වාහල පණ්‌ඩිත මුදියන්සේ ය. සිංහල ඉතිහාසයේ අවසාන භාගයේ කැපී පෙනුණ පුද්ගලයකු වූ ඔහු බොහෝ දෙනා හඳුනන්නේ ඇහැලේපොල මහ අදිකාරම් වශයෙනි. ඔහුගේ මව පිළිමතලව්වේ පරපුරේ කෙනෙකි. මාතලේ උඩසියපත්තුවේ ඇහැළේපොල උපන් ඔහු මහවෙල පොල්වත්තේ පිහිටි තම නිවස පන්සලක්‌ බවට පත්කර ඉඩකඩම් එයට පිදුවේය. මහනුවර වත්මන් රිමාන්ඩ් සිර මැඳුර මහ අදිකාරම්ගේ සෙංකඩගල වලව්වයි.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් සිංහල රජ පරපුර කෙළවර වීමෙන් පසු රජකමට පත් වූයේ දකුණු ඉන්දියානු සම්භවයක්‌ ඇති නායක්‌කර් කුමාරවරුන් ය. පැරණි සම්ප්‍රදාය හා සිරිත් විරිත් ගැන තේරුම් ගත් ඔවුහු භික්‍ෂුන්ගේ අනුශාසනා පරිදි රට පාලනය කිරීමටත්, බුද්ධ ශාසනයේ දියුණුවටත් කටයුතු කළහ. ඒ අතර ඉතා බුද්ධිමත් හා රටවැසියන්ගේ සිත් දිනාගත් පාලකයා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය. එහෙත් ද්‍රවිඩ නායක්‌කර් වංශිකයන් රට පාලනය කිරීම හා ඔවුන් හින්දු සිරිත් අනුගමනය කිරීම ගැන අසතුටින් කල් ගෙවූ ගිහි පැවැදි ප්‍රභූ පිරිසක්‌ ද සිටියහ. නායක්‌කර් රජ පරපුර වැනසීමට අවස්‌ථා කීපයකදී ම ඔවුන් සිදු කළ කුමන්ත්‍රණ අසාර්ථක විය. සිංහලේ රාජ්‍යයේ අවසාන පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හෙවත් කන්නසාමි කුමරුට රජකම ලැබුණේ පිළමතලව්වේ මහ අදිකාරම්ගේ උපායකිනි. කුමරුවා රූකඩ රජකු ලෙස තබාගෙන ක්‍රමයෙන් රාජ්‍ය බලය තමන් වෙත පවරා ගැනීම පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ අරමුණ විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඒ බව වැටහිනි. 1805 වසරේ දී පිළිමතලව්වේ සහ මීගස්‌තැන්නේ අදිකාරම් සිදු කළ කුමන්ත්‍රණයක්‌ නිසා රජු විසින් ඔවුහු සිරකර තබන ලදි. පසුව නිදහස ලැබූ මීගස්‌තැන්නේ නිලමේ අසනීපයෙන් මියගියේ ය. ඔහු දැරූ දෙවැනි අදිකාරම් තනතුර ඇහැලේපොල නිලමේ වෙත පත් කෙරුණි. පිළිමතලව්වේ නිළමේගේ බලලෝභය නිම නොවිනි. රජුට රැකවරණය සැපයූ සෙබළුන් හැට දෙනකුට අල්ලස්‌ දී රජු මැරවීමට ඔහු සැලසුම් කළේය. ඒ කුමන්ත්‍රණය හෙළිවීමෙන් 1812 දී පිළිමතලව්වේ මහ අදිකාරම් මරණ දඬුවම ලැබීය. ඔහු දැරූ මහ අදිකාරම් තනතුරට පත් කෙරුණේ ඇහැලේපොල නිලමේ ය. තමන් මරා හෝ බලයෙන් නෙරපා දමා හෝ නිලමේවරුන් රාජ්‍ය බලය ලබා ගනු ඇත යන සැකය හා බිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මනසේ තදින් පැලපදියම් වී තිබිණි. මේ මානසික පීඩනයෙන් මිදෙන්නට සිතූ රජු සුරාපානයට ඇබ්බැහි වූ බව ද පෙනේ. සුළු සිද්ධියකදී වුව ද කෝපයට පත් වූ ඔහු සැක සිතෙන හැම දෙනාම මරා දමන්නට පෙළඹිණි. ඔහුගේ සැකය සැබවින්ම සාධාරණ ය.
රජුගේ දෙවැනි විවාහ මංගල්‍යයට ඇහැලේපොල මහ අදිකාරම්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක්‌ නොලැබිණි. නාථ දේවාලය දළදා මැඳුර අසලින් ඉවත් කර රජ මාලිගාව තැනීමට රජු ගත් තීරණයට ද ඔහු විරුද්ධ වී තිබේ. ඇහැලේපොල මහ අදිකාරම් සෙංකඩගල නුවරින් ඈත් කිරීමට අදහස්‌ කළ රජු කෘෂිකාර්මික කටයුතු හා ආදායම් බදු එක්‌රැස්‌ කිරීම සඳහා ඔහු සබරගමුවට පිටත් කරන ලදී. රූමත් කුල කතක වූ ඇහැලේපොල කුමාරිහාමි පිළිබඳ අනියම් හැඟීමක්‌ රජු තුළ පැවැති නිසා ඇය හුදෙකලා කර ගැනීමේ උපායක්‌ වශයෙන් එසේ කළ බව ද කියවෙති. රජුගේ ගඟසිරිපුර සංචාරයකට ඇය සහභාගි නොවීම ගැන රජු කෝපයට පත් වූ බවට ද තොරතුරු ඇත. නොයෙකුත් හේතු නිසා ඇහැලේපොල මහ අදිකාරම් ගැන රජුට ඇති වුණ සැකය හා අමනාපය තව තවත් තියුණු කරන ලද්දේ මහ අදිකාරම් තනතුර බලාපොරොත්තුවෙන් සිටි මොල්ලිගොඩ නිලමේ විසිනි. රටවැසියන්ට හිංසා කිරීම, අයබදු රැස්‌ නොකිරීම, රජුට එරෙහිව සේනාවක්‌ රැස්‌ කිරීම, රනින් කඩුවක්‌ හා ඔටුන්නක්‌ සෑදවීම වැනි කරුණු මහ අදිකාරම්ට එරෙහි තොරතුරු අතර වෙයි.
පෘතුගීසීන්ට බදු ගෙවූ ඇතැම් ගම්වල වැසියෝ බදු ගෙවීමෙන් වැළකී සිටියහ. එසේම රජ බිසොවකට අයිති ගමක වැසියෝ බදු ගෙවීම පැහැර හැර කන්කානමට හිරිහැර කළහ. මේ අතරේ මලබාර් වෙළෙන්දෙක්‌ මහ අදිකාරම් තැන විශාල මුදලක්‌ භාණ්‌ඩාගාරයට අහිමි කරන බව රජුට දැන්වීය. කඳපොල නිලමේ ද ඇහැලේපොල මහ අදිකාරම් ගැන රජුට කේලාම් කියූ කෙනෙකි. උඩරට පාලනය කරන දෙමළාගේ තොරතුරු කොහොමද? යි මහ අදිකාරම් එක්‌ මිනිහෙකුගෙන් අසා තිබෙනවා යෑයි ඔහු රජුට පවසා ඇත. මේ තොරතුරු ඇසීමෙන් කෝපයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහ අදිකාරම්ට වහාම සෙංකඩගලට එන්නැයි පණිවිඩයක්‌ තල්පතක ලියා යෑවීය. දැනට ආරම්භ කර ඇති වාරිමාර්ග කටයුතු නිමවා ඔබතුමා වෙනුවෙන් සකස්‌ කළ වටිනා තෑගි ද රැගෙන ඉක්‌මනින් පැමිණෙන්නෙමි යනු මහ අදිකාරම් එයට ලියූ පිළිතුරයි. පණිවුඩකරු පැමිණෙනතුරු කඩවතෙහි රැක සිටි මොල්ලිගොඩ නිලමේ පිළිතුරු තල්පත ලබාගෙන වෙනත් ලිපියක්‌ ලීවේය. “මම තවදුරටත් ඔබගේ වහළෙක්‌ නොවෙමි. ඔබගේ පාලනයට මම යටත් නොවෙමි.” යනු එම පිළිතුරයි. එය දැකීමෙන් රජු උදහස්‌ විය. ඔබේ ප්‍රාණය වැනි වූ දරුවන් සහ බිරිඳ සිටින්නේ මගේ අත් අඩංගුවේ යි. ඔවුන් ජීවත් වනු දකින්නට කැමැති නම් වහාම එන්නැයි නැවතත් නියෝග කළේය. රජතුමා කිසියම් වැරැදි වැටහීමකින් සිටින බව මහ අදිකාරම්ට හැඟුණි. රජතුමනි, වරදක්‌ සිදු වී තිබේ නම් සමාව දෙනු මැනවැ යි සඳහන් කොට ඔහු රජුට පිළිතුරක්‌ යෑව්වේය. නමුත් නැවතත් රජු අතට ලැබුණේ මොල්ලිගොඩ නිලමේ සකස්‌ කළ ලිපියකි. එහි සඳහන් වචන ඉතා දරුණුය. “නුඹට වුවමනා මගේ දරුවන් මරන්නට නම් ඔවුන් මරා දමාපන්. එපමණක්‌ නොවෙයි ඔවුන්ගේ මසුත් කෑවාට මට කමක්‌ නැහැ” යි එහි සඳහන් කර තිබුණි. කෝපයෙන් ඇවිලුන රජු මොල්ලිගොඩ මහ අදිකාරම් තනතුරට පත්කර ඇහැලේපොල නිලමේ අත්අඩංගුවට ගන්නැයි ඔහුට නියෝග කළේය. මොල්ලිගොඩ මහ අදිකාරම් සේනාව සමඟ සමනලකන්ද තරණය කොට සපරගමුවට පැමිණෙන විට ඇහැලේපොල නිලමේ ඉංග්‍රීසීන්ගෙන් රැකවරණය ලබන්නට කළුතර හරහා කොළඹට පලා ගියේය. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා සහ ආර්යාව ගල්කිස්‌සේ නිවසේ දී මුණගැසුන විට ඒ දෙපොළට දෙමවුපියන්ට මෙන් ඇමතීමට අවසර දෙන්නැයි ඇහැලේපොල නිලමේ ඉල්ලුවේ කඳුළු සලමිනි.
සිංහලේ රාජ්‍යය අල්ලා ගැනීමට වෙහෙසුන ඉංග්‍රීසීන්ට ඇහැලේපොල නිලමේගේ පැමිණීමෙන් උදාවුණේ හොඳ අවස්‌ථාවකි. බොරු කරුණාවකින් ඇහැලේපොල නිලමේට සැලකූ ඔවුහු සිංහලේ රාජ්‍යයේ සේනා බලය, ධනය හා ආරක්‍ෂක විධි පිළිබඳ රහස්‌ ඔහුගෙන් ලබාගත්හ. දෙපාර්ශ්වයටම වුවමනා කළේ රජු බලයෙන් පහ කිරීමටයි. ඇහැලේපොල නිලමේ තුළ පැවතුණේ ඉංග්‍රීසීන් යටතේ රාජ්‍ය පාලනය තමන්ට පැවරෙනු ඇත යන විශ්වාසයයි. ඉංග්‍රීසීන්ට තිබුණේ කපටිකමයි. ඔහු ඉංග්‍රීසීන් විශ්වාස කළේය. මේ අතර මොල්ලිගොඩ මහ අදිකාරම් සහ රජු භේද කිරීම සඳහා ජෝන් ඩොයිලි යෙදූ සැලසුම සාර්ථක විය. සතර කෝරලේ නිල ලාංඡන හා ලේකම් මිටි මහ අදිකාරම් විසින් ඉංග්‍රීසීන්ට භාර දෙන ලද්දේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. ඒ වන විට නිලමේවරුන් දෙදෙනාගේ මානසික තත්ත්වය පැහැදිලි වන්නේ ඔවුනොවුන් අතර ඇතිවුණ කතාබහෙනි. “මම විනාශ වූ මිනිසෙක්‌” යනුවෙන් ඇහැලේපොල නිලමේ පවසන විට “මටත් සිදුවුණේ ඒ දෙයම යි” යනුවෙන් මොල්ලිගොඩ නිලමේ පැවසූ බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් සිංහලේ වැසියන් ගැන ලියූ වාර්තවේ සඳහන් වෙයි. ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිටියේ ඒ දෙදෙනො කෙරෙහි බලවත් කෝපයකිනි. ඔහු ඔවුන් ගැන කතා කළේ දැඩි කලකිරීමකිනි. “ඇහැලේපොල හා මොල්ලිගොඩ ගැන පරිස්‌සම් වන්න. ඔවුන් මට සිදුකළ විපත්තිය ඔබලාටත් කරනවා ඇති. ඔවුන් මා රැවටුවා. ඔබලාත් රවටාවි” යනුවෙන් රජු පවසා ඇත. “මගේ වැසියො නිසිලෙස හැසිරුණාහු නම් මා පිරිමියෙක්‌ ද ගැහැනියෙක්‌ ද යන වග ඔබට පෙන්වන්නට තිබුණි. ආහාර වැළඳීමෙන් පසු එහි රසය ගැන කතා කිරීම නිෂ්ඵලය. මා මගේ රාජ්‍ය පාලනය කළේ මනු නීතියට අනුවය. මුරකරුවන් නිදිමතව සිටින විට ඔවුන් අවදිවන්නේ දඬුවමෙනි. සාධාරණත්වයේ ශ්‍රේෂ්ඨ ගුණය දඬුවමයි. මිනිසා යහමඟට පත්වන්නේ එයින් ය. නිර්දෝෂ මනුෂ්‍යයකු සොයා ගන්නට නොහැකියෑ” යි තමන්ගේ කටයුතු යුක්‌ති සහගත බව හඟවමින් රජු හෙන්රි මාර්ෂල්ට පැවසූ බව වාර්තා කර ඇත. ඉංග්‍රීසීහු ඇහැලේපොළ නිලමේ රවටා තම අරමුණු ඉටුකර ගත්හ. ඔහුගේ අරමුණ ඉටු වී නම් සිංහලේ රාජ්‍යය යළිත් සිංහලයන් සතු වන්නට තිබිණි. ශිෂ්ට යෑයි කියන ජාතීන් යුද්ධ ආරම්භ කරන්නේ රටක්‌ තම අණසකට යටත් කර ගැනීම සඳහා යි. ඔවුන් එය සාධාරණීකරණය සඳහා කපටිකමට ගෙනහැර පාන්නේ දයානුකම්පාව නමැති වචනය යි. නැතිනම් ජනතාව විපතින් මුදා ගැනීමයි. බ්‍රිතාන්‍ය රජය විසින් ස්‌වාධීන සිංහලේ රාජ්‍යය ආක්‍රමණය කිරීමෙන් සිදුකළේ එය බව වෛද්‍ය ජෝන් මාර්ෂල් වැඩිදුරටත් පවසයි.
සිංහල රාජ්‍යයේ අර්බුද නිසා කෲර ලෙස ඝාතනය කෙරුණ පිරිස අතර මුලින්ම සිටින්නේ ඇහැලේපොල පවුලයි. වරදකරුවකු වෙනුවෙන් පවුලේ අය ප්‍රාණ ඇපයට ගැනීම සිංහල රාජ්‍යයේ රීතියක්‌ බව රොබට්‌ නොක්‌ස්‌ ද සඳහන් කර ඇත. ඇහැලේපොල මහ අදිකාරම්ගේ දරු පවුල යටත් කෙරුණේ ද ඒ රීතියටයි. 1814 මැයි 17 වැනි දින දළදා මැඳුර අබියස නාථ හා මහා විෂ්ණු දේවාල අතර පිහිටි දේව සංහිද නමින් හැඳින්වුණ භූමියට හිරභාරයේ සිටි ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන් සිවුදෙනා කැඳවාගෙන එනු ලැබූහ. ඉදිරිපස රජ වාසලේ සිට රජු බලා සිටියේය. තමා සහ දරුවන් රාජ නියෝගයට යටත් වන බව ඇහැලේපොල කුමාරිහාමි නිර්භීතව ප්‍රකාශ කළාය. “දරුවනි බිය නොවන්න, රඡ්ජුරුවන්ට ලේ පිපාසය සෑදී ඇත. අපේ ලේ වලින් ඔහුගේ පිපාසය සංසිඳේවා. නිර්දෝෂී වූ පියාණන්ට මේ බිලි පූජාවෙන් යහපතක්‌ වේවා කියා ප්‍රාර්ථනා කරන්නැ” යි දරුවන්ට පැවසුවාය. ඇයගේ කී වදන් රජුට නොඇසුණි. ඇය පැවසුවේ මොනා දැයි රජු වධකයාගෙන් විමසුවේය. එවිට අහසට දැත් දිගු කළ කුමාරිහාමි “මාගේ ස්‌වාමීනි, ඔබ කොතැනක සිටියත් මේ අපරාධය දැන ගන්නට ලැබුණ විට එයින් තවත් ධෛර්ය සම්පන්නව මේ වඩිගයා නෙරපා දමා අපේ රාජ්‍යය නිදහස්‌ කරගන්නට ඔබට ශක්‌තිය ලැබේවා” යි පැවසුවේ උස්‌ හඬිනි. ගෙල සිඳින්නට ගහලයා කඩුව අතට ගත් විට බියට පත් එකොළොස්‌ හැවිරිදි වැඩිමහල් දරුවා මවගේ ඇඟෙහි එල්ලී වැළපෙන්නට විය. මෑණියන්ගේ කථාවෙන් ධෛර්යවත් වූ නව හැවිරිදි මද්දුම බණ්‌ඩාර නොබියව ඉදිරියට පැමිණ “අයියණ්‌ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වමි” යෑයි පවසමින් ඔහු ගහලයාට ගෙල පෑවේය. වීර දරුවාගේ හිස එක කඩු පහරකින් වෙන්වුණි. ඉන් පසු වැඩිමහල් ලොකු බණ්‌ඩාර සහ දියණිය ඝාතනය කරන ලදහ. අනතුරුව ගහලයා මවගේ ඇකයෙහි සිටි බිළිඳු දරුවා උදුරාගෙන ගෙල සින්දේය. ක්‍රෝධයෙන් හා උමතුවෙන් හැසිරුණ රජුගේ මුවින් ඊළඟට නිකුත් වුණේ දරුණු නියෝගයකි. එයින් කියෑවුණේ දරුවාගේ හිස වංගෙඩියට දමා කෙටීමටයි. ශෝකයෙන් ගල් ගැසුන කුමාරිහාමි තුෂ්ණිම්භූතව බලා සිටියාය. නියෝගය ඉටු නොකළොත් මුළු පරපුරම රොඩී රැහැට යවන බවට නැවතත් තර්ජනය කෙරුණි. තම පරපුරට අවනම්බුවක්‌ සිදුවීම අකමැති වූ කුමාරිහාමි මෝල් ගස අතට ගෙන ගෙලෙන් ලේ සහ මුවින් කිරි වැගිරෙන බිළිඳාගේ හිස මත එය හෙළද්දී ශෝකය දරාගත නොහැකිව ඇය ඇද වැටුණි. අසල බලා සිටි සියල්ලෝම හඬා වැළපෙන්නට වූහ. නියෝගය ක්‍රියාත්මක කළ පලිපාලන කෝරාළ ද සිහිසුන්ව වැටුණි. රජු විසින් ඔහු සේවයෙන් නෙරපන ලදී. ඇහැලේපොල කුමාරිහාමිත් ඇයගේ නෑනණ්‌ඩිය වන පුස්‌සැල්ලේ කුමාරිහාමි හා සොහොයුරියත් වැවේ ගිල්වා මරණ ලදහ. මේ කෲර සිද්ධිය නිසා මුළු මහනුවර මළ ගෙයක්‌ බවට පත්විණි. දුෂ්ට පාලකයාගේ මාලිගාවේ හැර සෙසු කිසිදු නිවසක දින දෙකක්‌ යනතුරු ලිප ගිනි මෙලවීම හෝ පහන් දැල්වීම සිදු නොකළ බවත් වැසියන් නිරාහාරව සිටි බවත් ජෝන් ඩේවි වාර්තා කර ඇත.
මද්දුම බණ්‌ඩාර ළමා වීරයා ජීවිතය පරිත්‍යාග කළේ වඩිග රජුගෙන් සිංහලේ රාජ්‍යය බේරා ගැනීමට තම පියාණන් යෙදූ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය තම දේශය වෙනුවෙන් සිදු කළ ජීවිත පූජාවකි. ඔහු දිරිමත් වුණේ මෑණියන්ගේ එඩිතර වචන වලිනි. ඇහැලේපොල දරු පවුල මුහුණ දුන් කේදවාචකය 1815 සිංහල – ඉංග්‍රීසි ගිවිසුමට කුරිරු දඬුවම් නැවැත්වීම පිළිබඳ වගන්තියක්‌ ඇතුළත් කිරීමට හේතුවක්‌ විය. ගිවිසුම ප්‍රකාශයට පත් කරන මොහොතේදී ඇහැලේපොල නිලමේ මඟුල් මඩුවේ අසුන් ගෙන සිටි බව හෙන්රි මාර්ෂල් පවසයි. නිලමේවරු කවුරුත් ඔහුට දැක්‌වූයේ විශේෂ ගෞරවයකි. 1825 වසරේදී මුරුසියට පිටුවහල් කෙරුණ ඇහැලේපොල නිලමේ 1829 අප්‍රේල් මස මිය ගියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 56 කි. සමාජශීලී ඉතා කාරුණික තැනැත්තෙකු වූ ඔහු මුරුසියේ පවුල්වල කුඩා දරුවන් ආදරයෙන් සුරතල් කළ බවත්, සිංහල කවි ගයමින් ඔවුන් විනෝදයට පත් කළ බවත් මුරුසිය සම්බන්ධ වාර්තාවල සඳහන් වෙයි. ඒ සෑම මොහොතකම ඔහුට තම දයාබර දරුවන් සිහිපත් වන්නට ඇත.

14.උතුවන්කන්දේ සූර සරදියෙල්

දී කිරි කෑවගේ ආදිසි අප්පු හලාවත හාල්දඬුවන උපන් අයෙකි. යටත් විජිතකරණයෙන් පසු මෙරට ඇති වූ වාණිජ වතු වගාව නිසා මෙරට කොළඹ නුවර මාර්ගය ඉදිවූ අතර එමඟින් ප්‍රවාහන ක්‍ෂේත්‍රය ද දියුණු විය. අාදිසි අප්පුගේ රැකියාව වූයේ කරත්තයෙන් කෝපි, දුම්කොළ වැනි වාණිජ බෝග වෙළඳාම් කිරීමය. කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල ආසන්නයේ මාඔය (මහඔය) නිම්නය ගැල්කරුවන්ට තමන්ගේ ගමන් වෙහෙස නිවාගැනීමට තෝතැන්නක් විය. එම ප්‍රදේශයේ තේ කඩ හිමිකරුවෙකුට ඉතාම සුරූපි දියණියක් විය. ඇය නමින් පිංචොහාමි ය. වෙළඳාමේ ගිය අාදිසි අප්පු නිතර නිතර පිංචොහාමිගේ කඩයට ගිය අතර එම සබඳකම තවත් තහවුරු වී අාදිසි අප්පුත් කඩේ හිමිකරුගේ දියණිය වන පිංචොහාමිත් මංගල යෝජනාවකින් විවාහ වෙති. විවාහයෙන් පසුව අාදිසි අප්පුත් පිංචොහාමිත් උතුවන්කන්ද ප්‍රදේශයේම ජීවත් වූහ. මේ යුවළට දාව පිරිමි දරුවන් හතරදෙනෙක් හා එක් ගැහැනු දරුවෙක් වූ බව පැවසේ. ඔවුන් නමින් සරදියෙල්, ගබ්රියෙල්, පේදුරු, අන්තෝනි හා මාර්තා වේ.
1932 උපන් සරදියෙල් පවුලේ වැඩිමලා වූ අතර ඔහුගේ බාල නැගණිය මාර්තා කුඩා කාලයේ දීම මිය ගිය බව කියැවේ. අාදිසි අප්පු උපතින්ම කතෝලිකයෙක් වූ අතර ඔහු අනුව යමින් ගබ්රියෙල්, පේදුරු හා අන්තෝනි කිතු දහම වැලඳගත් අතර සරදියෙල් බෞද්ධයෙකු කිරීමට බොදු කාන්තාවක වූ පිංචොහාමි සමත් විය. ඒ අනුව අකුරු කිරීම සඳහා සරදියෙල් උතුවන්කන්දට නුදුරු ඉලුක්ගොඩ පන්සලට යැවීමට ඇය කටයුතු කළාය. ඉලුක්ගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ ඇසුරෙහි හැදුණු වැඩුණු කුඩා සරදියෙල් කුඩා කාලයේ සිටම විවිධ තාඩන පීඩන රැවුම් ගෙරවුම්වලට ලක් විය. ඉලුක්ගොඩ පන්සලට අකුරු කිරීමට පැමිණි ප්‍රදේශයේ වැදගතුන් යැයි සැලකෙන අයගේ දරුවන්ගෙන් ඔහුට විවිධ කෙනෙහිලිකම් විඳීමට සිදුවිය. මෙය දරාගත නොහැකි වූ සරදියෙල් අකුරු කිරීම අත්හැර දැමීමට තීරණය කළේ ගමේ ප්‍රභූන්ගේ දරුවන්ට පන්සල් භූමියේ දීම බිම පෙරළාගෙන පහර දීමෙන් පසුවය. අකුරු කිරීමට ආයුබෝවන් කී ඔහු පන්සලෙන් පලා ගියේය. පලා ගොස් ඔහු කොළඹ සහ මීගමුව ආශ්‍රය කොටගත් ප්‍රදේශයේ ජීවත් වූ බව කියවේ. ඒ වන විටත් සරදියෙල්ට උතුවන්කන්දේ මරික්කාර් නමැති අඹ යහළුවෙක් විය. සරදියෙල් ඉන් පසුව කොළඹ හමුදා බැරැක්කයක සේවයට ගියේ මේ මිතුරා ද සමඟය. එහිදී ඉතාම හොඳින් අවිආයුධ පිළිබඳව පුහුණුවක් ලබාගැනීමට ඔහු අමතක නොකළේය. හමුදා බැරැක්කයේ දී ඇතිවූ ආරවුලක් නිසා සරදියෙල් සිරගත කරන අතර අවසානයේ ඔහු සිරගෙයින් පැන එන්නේ හමුදා බැරැක්කයෙන් ගිනි අවියකුත් සොරාගෙනය.
නැවත තමාගේ ගම් පියස වන උතුවන්කන්දට පැමිණෙන සරදියෙල් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය සාර්ථක නොවීය. මේ ආකර්ෂණීය තරුණයා වටා එවකට මාවනැල්ල අවට ගම්වල තරුණයෝ අත්වැල් බැඳගත්හ. ඔහු වටා මම්මලේ මරික්කාර්, සිරිමලා, උක්කිදා, කිරිහොඳා, හවඩියා ආදී වශයෙන් යහළුවන් පිරිසක් සිටි අතර ඔවුන් සියලුදෙනාම අධිරාජ්‍ය විරෝධි පුද්ගලයන් වූ අතර සමාජයේ තාඩන පීඩන හේතුවෙන් මිරිකී ගිය සාමාන්‍ය පොදු ජනතාව ද වූහ. මේ කාලය වන විට ඉංගී‍්‍රසි පාලනය විසින් මුඩු බිම් පනත ගෙනවිත් ඉඩම් අත්පත් කරන ලද අතර වතුවගාබිම් මගින් කන්ද උඩරට ගිලගෙන තිබිණි. අපේ දේශීය උරුමයන්ගේ සාරය උරාබොමින් සිටි අධිරාජ්‍යවාදීන් මෙරට සිටි ස්වදේශිකයන් ඔවුන්ගේ වහලුන් සේ යොදා ගනිමින් සුදු අධිරාජ්‍යවාදයට කත් අදින කළු සුද්දන් බිහිකිරීම ඔවුන්ගේ අරමුණ විය. ආදායම් බෙදීයාමේ විෂමතාවය පරතෙරට පැමිණි මේ යුගයේ පැවති සමාජ අවශ්‍යතාවයක් වශයෙන් සමාජ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම සරදියෙල් විසින් ඉෂ්ට කරයි. නමුත් ඔහු තෝරාගන්නා මාර්ගය වන ඇති හැකි අයගෙන් මංකොල්ල කා නැති බැරි අයට එම ධනය බෙදා දීම ක්‍රමවේදය සාධූ සම්මත සමාජයේ අසම්මත යැයි සැලකෙන සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැන ගිය ක්‍රමවේදයක් විය.
එකල උඩරට වතු නිෂ්පාදන මහනුවර සිට කොළඹට ගෙන ගියේ උතුවන්කන්ද හරහාය. සරදියෙල් හා ඔහුගේ සහචරයන් පිරිස උතුවන්කන්ද ගිරිදුර්ගය ප්‍රයෝජනයට ගෙන මේ මාර්ගයේ ඉහළ පහළ යන ගැල් කොල්ල කෑ අතර එම කොල්ල කන ලද දේ අහිංසක, අසරණ, බදු ගෙවා ගත නොහැකි දිළිඳු මිනිසුන් හට බෙදා දෙන ලදි. කොල්ල කෑ මුදල් දිළිඳු ජනතාව අතරට ගොස් බෙදා හැරීමෙන් ඔහු වචනයෙන් විස්තර කළ නොහැකි සතුටක් භුක්ති විඳින ලද බව කියවේ. තවද සාමාන්‍ය ජනතාව පීඩනයට ලක්කළ දේශීය කළු සුද්දන් හටද සරදියෙල්ගෙන් ගැලවීමක් ලැබුණේ නැත. 1850 – 1860 දශකය වන විට සරදියෙල් පිළිබඳ ප්‍රවෘත්තිය මුළු රට පුරා පැතිර ගිය අතර එය බ්‍රිතාන්‍ය කිරීටයත් දැනගත හැකි විය. මේ හේතුව නිසාම සරදියෙල් ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 100 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ සරදියෙල් ඔවුන්ට පහසුවෙන් මෙල්ල කළ නොහැකි අභියෝගයක් වූ බැවිනි. සරදියෙල් අල්ලා ගැනීමට අවස්ථා කිහිපයකදී ලංකා පොලීසිය උත්සාහ කළ නමුත් එම උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ ඔහුට ආරක්‍ෂාව සැපයීමට ඔහුගේ සගයන්, මාවනැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ගම්වැසියන් පමණක් නොව උතුවන්කන්දත් ඒ ආශි‍්‍රත ප්‍රදේශයත් හේතු වූ නිසාය.
එක් අවස්ථාවකදී සරදියෙල් අල්ලා ගැනීමට පොලීසියෙන් පැමිණෙන විට සරදියෙල් උතුවන්කන්දෙන් බැස අසළ ඇති වෑගන්තලේ නමැති ගම හරහා දිව ගොස් මහඔයෙන් එගොඩට දිව ගිය බව කියයි. එසේ ඔහු පැන යන්නේ “බෝ ඇල්ල” නමැති කුඩා දියඇල්ල උඩින් එගොඩට පැමිණීමෙනි. බෝ ඇල්ල යනු අඩි 13 ක් පමණ ගල් මුවදොරක් තුළින් මහඔයේ සමස්ත ජල කඳම ගලා යන සම්පූර්ණ ගලෙන් ස්වාභාවිකම නිමවුනු ගල් වක්කඩකි. මෙය සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන අතර සරදියෙල් ඉන් එගොඩට පනින නමුත් පොලිස් නිලධාරීන්ට ඔහුට මෙන් සුරුවිරුකම් කළ නොහැකි නිසා පොලීසිය ආපසු හැරී යන බව වෑගන්තලේ ගැමියෝ කියති. සරදියෙල් යනු අධික ලෙස සූදුවට ඇබ්බැහි වූවෙකි. මෙයට අමතරව ඔහු මුස්ලිම් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බව පැවසෙයි. ඇය සරදියෙල්ගේ මිතුරකු වූ මම්මලේ මරික්කාර්ගේ වැඩිමහල් සහෝදරියයි. ඇය විවාහ වී සිටියේ “කාදර්” නමැති අයෙකු සමඟය. ඇගේ නිවස මාවනැල්ල ගඩොල් පාලම අසළ තිබූ බව කියයි. මෙයට අමතරව සරදියෙල් යන්ත්‍ර මන්ත්‍ර ගැන දැඩි විශ්වාසයක් තැබූ අයෙකු බව ගම්මු කියති. ඔහු සතු මඩකලපුවේ මුස්ලිම් පල්ලියකින් ගත් “කාල අංජනම” නම් අඳුනක්ද වන්නියේ පන්සලකින් ගත් “නරස්ති මාලය” නමැති යන්ත්‍රය ද තිබූ බව ජනප්‍රවාදවල කියවේ. සතර කෝරළයේ පමණක් නොව මුළු මහත් ලංකාව තැති ගැන්වීමට සමත් වූ මේ අසහාය පුරුෂයාගේ සමහර ක්‍රියාකාරකම් නිසා මියගිය පුද්ගලයෝ ද නැතුවාම නොවේ. ඒ අතර “පානිස්” සහ “මංගල්” වැන්නෝ ද වූහ. ඔවුන් ඝාතන කිරීම නිසා 1862 ජූලි 31 වැනි දා අලුත් කඩේ උසාවිය මඟින් වරදකරු කරන ලද සරදියෙල් බන්ධනාගාර ගත කළේය. නමුත් එම වසරේ ම නොවැම්බර් 19 වැනි දින පැන ඒමට ඔහු සමත්වෙයි. පැනවින් උතුවන්කන්දේ තම රාජධානිය තුළ සැඟව සිටියේය. සරදියෙල් සහ ඔහුගේ සහචරයන් පිරිස ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 200 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය 1864 පෙබරවාරි 18 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ ඔහුගේ කුපුරිස් ක්‍රියා අතිශය උත්සන්න වූ නිසාය. සරදියෙල්ගේ වික්‍රමාන්විත දිවියේ අවාසනාවන්තම කාලය උදා වූයේ 1864 මාර්තු 10 වැනි දින සිටය. එවකට පොලිස් සුපිරින්ටැන්ඩන් මැකාර්ටිනි මහතාත් එවකට කෑගල්ලේ උප ඒජන්තවරයා වශයෙන් කටයුතු කළ එෆ්.ආර්. සෝන්ඩර්ස් විසින් තුවක්කු ගත් හමුදාවක් කොළඹින් ගෙන්වා සරදියෙල් අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබිණි. ඉංගී‍්‍රසින් සරදියෙල් ඇල්ලීමට සිංහල පොලිස් නිලධාරින් පිරිසක් එවීමට පියවර නොගත්තේ ඒ වනවිට වීරයෙකු වශයෙන් ජනපි‍්‍රයත්වයට පත්ව සිටි සරදියෙල් සමඟ එකතු වී ඔවුන් ද තමන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරනු ඇතැයි යන සැකය නිසා බව පැවසේ. 1864 මාර්තු 16 වැනි දින සරදියෙල් හා ඔහුගේ සහචරයන් අල්ලා ගැනීමට පැමිණි ජෝර්ජ් වෑන් හා ක්‍රිස්තියානු අප්පු සරදියෙල් ඇතුළු පිරිසගෙන් මැරුම් කෑ බවත් තවත් හතර දෙනෙක් තුවාල ලැබූ බව මාවනැල්ලේ ලංකා පොලීසියේ සිහිවටන පුවරුවෙ හි සටහන් කර ඇත.
සරදියෙල් මාවනැල්ල ගඩොල් පාලම අසල සොල්දර නිවසක සැඟව සිටියදී සුද්දන්ට සරදියෙල් ගැන ඔත්තු සැපවූයේ ඔහු සමඟම එක බත්පත කෑ සිටි සිරිමලා විසිනි. ඒ අනුව අමාන් නමැති සාජන්ට් වරයාගේ මෙහෙයවීමෙන් එම නිවස වටකර සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම් දියත් කළ බව කියවේ. මෙහෙයුම් අවසාන ප්‍රතිඵලය ලෙස සරදියෙල්ගේ කකුලට වෙඩි වැදුණු අතර සරදියෙල් හා මම්මලේ මරික්කාර් පොලිස් අත්අඩංගුවට පත්වූහ. අත්අඩංගුවට ගැනීමේ දී සිරිමලා තමන් පාවා දුන් බව දැක සිරිමලාට “අපි අතින් හුඟ දෙනෙක් මැරුම් කෑව. මට වෙඩි තියන්න තිබේබෙ ඒ අයට නෙමෙයි උඹට යි” යනුවෙන් සරදියෙල් කියූ බව ජනප්‍රවාදයේ කියැවේ. සෝන්ඩර්ස් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සරදියෙල් හා මම්මලේ මරික්කාර් කරත්ත පෙරහරකින් බෝගම්බර බන්ධනාගාරයට ගෙන ගිය බවත් මහා ජන ගඟක් මාවනැල්ල සිට බෝගම්බර දක්වා මාර්ගය දෙපස එක් රැස් වෙමින් බ්‍රිතාන්‍යන් සසල කළ කෙසග සිරුරක් ඇති සරදියෙල් හා මම්මලේ මරික්කාර් දැක බලා ගත් බවත් කියැවේ. ඒ අනුව 1864 මාර්තු 21 වැනි දින සරදියෙල් අත්අඩංගුවට ගැනුණු අතර එහිදී ලංකා පොලීසියේ ක්‍රියාන්විතයකදී මියගිය පළමු පොලිස් නිලධාරියා බවට “කොස්තාපල් සාභාන්” පත් විය. පොලිස් සාජන්ට් මුත්තු සාමි තුවාල ලැබීය. සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම දියත් කළ පොලිස් සාජන්ට් ප්‍රධාන කොස්තාපල් ලෙස උසස් වීමක් හා පවුම් 35 දීමනාවක් ද, සාජන්ට් මුත්තු සාමිට පවුම් 20 දීමනාවක් ද, කොස්තාපල් සාභාන් වෙනුවෙන් ඔහුගේ බිරිඳට ජීවිතාන්තය දක්වා මාසිකව පවුම් 2 කුත් සිලිම් 6 කුත් ගෙවූ බව වාර්තාවේ. එදා ලංකා පොලීසියේ ක්‍රියාන්විතයකදී මියගිය පළමු පොලිස් නිලධාරියා සිහි කිරීමට මාවනැල්ලේ ගඩොල් පාලමට නුදුරු එම ස්ථානයේ පොලිස් ස්මාරකයක් ගොඩනඟා ඇති අතර මාර්තු 21 වැනි දින ජාතික පොලිස් දිනය බවට ද ප්‍රකාශයට පත් කර ඇත. අත්අඩංගුවට ගත් මේ අපූරු මිනිසා හට කිසිම බුරුලක් ලබානොදීමට ලංකා පොලීසිය කටයුතු කළ අතර ඔහුට විරුද්ධව නඩු විභාගය 1864 අප්‍රේල් 14 වෙනිදා ආරම්භ කළ අතර අවසන් නඩු තීන්දුව වූයේ සරදියෙල් හා මම්මලේ ප්‍රසිද්ධියේ එල්ලා මැරීමටයි. ඔහු එල්ලා මැරීමට නියම වූයේ 1864 මැයි 04 වෙනිදා වුණත් පසුව එය මැයි 07 වැනිදා දීර්ඝ කළේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 32 කි. ඔහුට මරණ දඬුවම නියම වූ පසු ඔහු කතෝලික ආගමට හරවා ගැනීමට ප්‍රංශ ජාතික “ඒඩ්‍රියල් ඩාප්ෆෝ’” නමැති පූජකයා සමත් වූ බව කියවේ. සමාජ අසාධාරණයෙන්, බලවාදයෙන්, අධිරාජ්‍ය වාදයෙන් නොමඟට යැවුණු කුරිරු සමාජය ඉදිරියේ 1864 මැයි 07 වැනිදා මහනුවර පොදු වෙළඳපළ ඉදිරිපිට දෙනෝදාහක් මැද එල්ලා මැරීම සරදියෙල්ගේ දෛවය විසින් කරන ලද සරදමක් වැනිය. ඔහුගේ මුල් කාලයේ සිට අවසාන හුස්ම පොද දක්වාම අසල සිටි මම්මලේ මරික්කාර්ගෙන් කල්‍යාණ මිත්‍රයින්ගේ උත්තම ගුණය මෙන් ම එකල පැවති ජනවාර්ගික සමගිය ද නිරූපණය කරයි.

15.ශ්‍රීමත් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා

මෙතුමාගේ මවු රට වශයෙන් සැලකෙන්නේ ඇමරිකාවයි. ඒ ඔහුගේ මවුපියන් වන හෙන්රි වයිකෝප්ට්‌ ඕල්කට්‌ සහ එමිලා ස්‌ටීල් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයෙහි පදිංචිකරුවන් වූ බැවිනි. මොහු පාසල් අධ්‍යාපනය නිමකොට නිව්යෝක්‌ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍යද ලද්දේය. එහෙත් ඔහු තම අධ්‍යාපන කටයුතු අතරමග නතර කර දැමීය. ඒ තම පියාගේ ව්‍යාපාර කටයුතු බිඳ වැටීමත් සමඟය. ඉන්පසු ඔහුට සිදුවූයේ දුක්‌කිත ජීවිතයක උරුමකරුවෙක්‌ වීමටය. ජීවිත තක්‌සලාව තුළින් ලද අත්දැකීම් හා දැනීම් සම්භාරය තම ජීවිතය ගොඩ නගා ගැනීමට බෙහෙවින් උපකාරී වී ඇත. ඒ තුළින් මෙතුමා මුළු මහත් ලෝකයටම ශ්‍රේෂ්ඨ චරිතයක්‌ බවට පත්විය. මොහු කෘෂිරසායන විද්‍යාව මෙන්ම විද්‍යාත්මක ගොවිතැන පිළිබඳ යම් දැනුමක්‌ ලබා ගත්තේය. පුවත්පත් කලාව වෘත්තිය කර ගත්තේය. “නිව්යෝක්‌ ටිරබියුන්” පත්‍රයේ කෘෂිකර්ම පිටුවේ සහකාර කතෘවරයකු ද විය. බ්‍රිතාන්‍යයේ “මැල්ලේන් එක්‌ස්‌ප්‍රස්‌” පුවත්පතේ ඇමරිකානු වාර්තාකරු හැටියටද කටයුතු කර ඇත. නීතිය පිළිබඳවද හැදැරූ මෙතුමා පසු කලකදී නිව්යෝක්‌ නගරයේ දක්‍ෂ නීතිඥයකු ද විය.
උපතින් ක්‍රිස්‌තු භක්‌තිකයකු වූ මෙතුමා සත්‍යයට වඩා උසස්‌ ආගමක්‌ නැතැයි යන දර්ශනයට අනුව කටයුතු කළ අයෙකි. 1873 වකවානුව වන විට ලක්‌දිව ක්‍රිස්‌තියානි ධර්මය සහ බෞද්ධ ධර්මය අතර මතභේද හා වාද විවාද පැවැති යුගයක්‌ විය. 1873 දී ලක්‌දිව ඇති වූ පානදුරා වාදය පිළිබඳ ලියකියෑවිලි මෙතුමාට බොම්බායේදී කියවන්නට ලැබිණි. ඒ මගින් ක්‍රිස්‌තු භක්‌තිකයන් බුදු දහම සම්බන්ධයෙන් ගෙන ගිය අසත්‍ය ප්‍රචාර ගැනත් ඒ සම්බන්ධව මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් කළ කථා පිළිබඳවත් යම් අවබෝධයක්‌ ලබා ගත්තේය. ඒ අනුව 1880 මැයි 17 දින “බ්ලැවස්‌කි” මැතිනියත් සමඟ ඕල්කට්‌තුමා ලක්‌දිවට සැපත් විය. ලක්‌දිවට සැපත් මෙම යුවළ ගාල්ලේ විජයානන්ද විහාරයේදී පංච ශීලයෙහි පිහිටීමෙන් බෞද්ධයන් බවට පත්වූහ. මෙතුමාගේ පැමිණීම මෙරට බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ටතම යුගයක මූලාරම්භය වූයේය. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා වැනි ගිහි පැවිදි උතුමන් හා එක්‌ව ඕල්කට්‌ තුමා රටේ ජාතික හා ආගමික ප්‍රබෝධය ඇති කිරීම සඳහා කටයුතු කළේය. රටේ නොයෙකුත් ස්‌ථානවල සැරි සරමින් දේශනා පවත්වමින් ජාතික, ආගමික සේවාවන් සඳහා ජනතාව පෙළගැස්‌වූයේය. බුදු දහම සම්බන්ධව නිවැරදි අවබෝධයක්‌ ජනතාව තුළ ඇති කරන්නට මහන්සි ගත්තේය. ඒ මගින් බෞද්ධයන් අන්‍ය ආගම්වලට හරවා ගැනීම වළක්‌වාලන්ට කටයුතු කළේය. “පරම විඥනාර්ථ බෞද්ධ සමාගම” ඇති කළේය. එමගින් බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළේය. කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය වැනි ප්‍රධාන බෞද්ධ පාඨශාලා මෙන්ම රටේ නොයෙක්‌ ප්‍රදේශවල බෞද්ධ පාඨශාලා ඇතිවූයේ මෙතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙසය. මෙම පාසල් තුළින් බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳවද දැනුමක්‌ ලැබිණි. ජාතියේත් බුදු දහමේත් උන්නතිය උදෙසා බෞද්ධ කාන්තාවන් පෙළ ගැස්‌ වූයේය. කාන්තා අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළේය. මේ අනුව මාරි මියුසියස්‌ හිඟින්ස්‌ මැතිනියගේ සහ බ්ලැවස්‌කි මැතිනියගේ පුරෝගාමීත්වයෙන් ලක්‌දිව ප්‍රථමවරට බෞද්ධ කාන්තා විදුහල් ආරම්භ කළේය.
මේ වකවානුව වනවිට බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨතම දිනය වූ වෙසක්‌ දිනය රජයේ නිවාඩු දිනයක්‌ නොවීය. මෙතුමා රජයේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක්‌ වශයෙන් 1885 දී වෙසක්‌ දිනය පළමුවරට රජයේ නිවාඩු දිනයක්‌ කළේය. බෞද්ධ කොඩිය නිර්මාණය වූයේ ද මේ සමයේදීය. මෙහිදී ද මෙතුමාගෙන් ලැබුණු සහාය ද වැදගත්ය. “සරසවි සඳ රැස” නමින් පුවත්පතක්‌ ද ආරම්භ කළේය. ඒ මගින් බෞද්ධ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා පියවර ගත්තේය. ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුමැතිය ඇතිව බෞද්ධකතෝපකථනය” නමින් ප්‍රශ්න හා උත්තර සහිත ධර්ම ග්‍රන්ථයක්‌ ද පළ කරන ලදී. විදේශ රටවල ද මෙතුමා ධර්ම ප්‍රචාරයෙහි යෙදුණේය. “කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා” විදේශිකයකු වුවත් සිංහල බෞද්ධයන්ට කළ ඒ අමරණීය සේවාව අමතක කළ නොහැකිය. මෙතුමා 1917 පෙබරවාරි 17 දා මදුරාසියේදී පරලෝ සැපත් වීය. එහෙත් ලක්‌දිව බෞද්ධයන් අතර එතුමා තවමත් ජීවමානය. ඒ ලක්‌දිව බෞද්ධ පුනර්ජීවනය උදෙසා එතුමා සිදු කරන්නට යෙදුණු ඒ උදාර අමරණීය සේවාව නිසාය.

16.බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර

1876 ජුලි මස 9 වැනි දින මීගමුව මහහුණුපිටිය ග්‍රාමයේ පදිංචිව සිටි වෙළෙඳ ප්‍රභූවරයෙකුව සිටි වලිසිංහ හෙන්දිරික්‌ සිල්වා සහ පේහන්දි මර්තිනා ද සිල්වා ගුණසේකර යුවළගේ දෙටු පුත් ලෙස මෙලොව එළිය දුටු බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන්ගේ මුල් නම වූයේ වලිසිංහ එඩ්වඩ් සිල්වා යනුවෙනි. පස්‌වියට පිවිසෙත්ම මීගමුව මහහුණුපිටිය සුගතාරාම මහා විහාරස්‌ථානයේ වැඩවිසූ පූජ්‍ය හුණුපිටියේ ධම්මරතන තිස්‌ස නාහිමිපාණන්ගේ පා සෙවණේ පන්සල් අධ්‍යාපනය ලද වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන් ඉන් පසුව මහහුණුපිටියේ බෞද්ධ පාඨශාලාවලට ඇතුළත් කරන ලදී. ඉන් අනතුරුව ඉංග්‍රීසි අධ්‍යාපනය ලබනු පිණිස මීගමුව ශාන්ත මරියා (මේරි) විදුහලට ඇතුළත් වූ එතුමන් 1889 දී කොළඹ වෙස්‌ලි විදුහලට පිවිස එම විදුහලේ අධ්‍යාපනය ලැබීය. ඉන්පසු එකල ප්‍රභූන්ගේ ජනප්‍රිය වෘත්තිය වූ නීති වෘත්තිය හැදෑරීම සඳහා නීති ක්‍ෂේත්‍රයට පිවිසි අතර එහිදී එකල ප්‍රකට නීති විශාරදයන්ව සිටි එච්. ඡේ. වී ඒකනායක, ඡේ. ටී. බ්ලෙස්‌ යන මහත්වරුන් ඇතුළු ප්‍රකට නීතිවේදීන් රැසකගේ ඇසුරට පත්විය. නීතිඥ වෘත්තියට පිවිසීමට වඩා රටට දැයට සේවය කිරීමේ අමිල අරමුණෙන් එතුමන් 1898 ජුනි මස 30 වැනි දින සිය ගෘහස්‌ථ දිවිය හැරදමා රට දැය සමය සහ බෞද්ධාගම දියුණු කිරීම සඳහා සිය දිවිය කැපකිරීම ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව මෙතෙක්‌ කලක්‌ එතුමන් භාවිතා කළ ගිහි නම වූ එඩ්වඩ් සිල්වා යන නාමය අත්හැර වලිසිංහ හරිශ්චන්ද්‍ර යන නාමය භාවිත කිරීමට පටන් ගත් අතර එතුමන්ගේ වලිසිංහ හරිශ්චන්ද්‍ර යන නාමයට 1898 ජනවාරි මස 1 වැනි දින විද්යෝදය මහ පිරිවෙනේ මහා ජනසභාවක්‌ හමුවේ පැවති මහා බෝධි සංවත්සර රැස්‌වීමකදී එවකට එහි පරිවේනාධිපතිව වැඩ විසූ හික්‌කඩුවේ සුමංගල නාහිමිපාණන් විසින් වලිසිංහ හරිශ්චන්ද්‍ර උතුමන්ට “බ්‍රහ්මචාරී” යන ගෞරව නාමය පිරිනමා එතුමන් බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්‌චන්ද්‍රයන් බවට පත් කරන ලදී.
එතුමන්ට 1902 අමරපුර මහා නිකායෙ බිහි වී රට තුළ බෞද්ධ ආගම නගා සිටුවීම සඳහා ආරම්භ කර තිබූ නිහඬ විප්ලවයත් එතුමන්ගේ මුල් පරම්පරාව රටට සේවාවන් ඉටු කිරීම සඳහා පහල වූ දකුණු ලංකාවේ වැලිතොට (වර්තමානයේ බලපිටිය) ග්‍රාමයට සම්බන්ධ වී තිබීම නිසා ජන්මයෙන්ම රට දැය සමය වෙනුවෙන් විප්ලවීය කටයුතු වලට දායක වීමට ජන්මයෙන් උරුම වී තිබිණි. මෙම කාලය තුළ අප රටේ බෞද්ධ අයිතීන් රැක ගැනීම සඳහා අභීත සටනක්‌ ගෙනගිය අනගාරික ධර්මපාල උතුමන්ගේ ඒ සඳහා නොමසුරු සහාය ලබාදුන් කර්නල් හෙන්රි ඕල්කොට්‌ යන ප්‍රභූවරුන් ඇසුරට බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් පත්විය. වර්ෂ 1902 දී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා විසින් ආරම්භ කරන ලද ස්‌වර්ණමාලී චෛත්‍ය සංවර්ධන සමිතිය අනුරාධපුරයේ හීන තත්ත්වයට පත්ව තිබූ බෞද්ධාගමේ පුනර්ජීවනය යළි නගාසිටුවීමට මහෝපකාරී විය. ඉංග්‍රීසි පාලකයන් විසින් මුඩුබිම් පනත යටතේ අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථානවලට අයත් භූමිභාග රජයට අත්පත් කොටගෙන එම පූජනීය ප්‍රදේශවල ජනාවාස ඇති කිරීමට ඉංග්‍රීසි පාලකයන් විසින් ගනු ලැබූ පියවරයන්ට එරෙහිව අභීත සටනක යෙදුන වලිසිංහ හරිශ්චන්ද්‍ර උතුමන් අධිරාජ්‍යවාදීන්ගේ එම ප්‍රයත්න උපන් ගෙයිම බිඳ දැමීමට සමත්විය. එතුමන් අනුරාධපුරයේ ශ්‍රී විභූතිය ආරක්‍ෂා කරගැනීමට බලවත් සටනක යෙදුනි. 1899 ඔක්‌තෝබර් මස 28 දා අනගාරික ධර්මපාල තුමන්ගේ යෝජනාවක්‌ අනුව වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන් මහා බෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ධුරයට පත්විය. දඹදිව බුද්ධගයාව ප්‍රමුඛ බෞද්ධ සිද්ධස්‌ථාන රැකගැනීම පිණිස අනගාරික ධර්මපාලතුමන් විසින් දඹදිව ගෙනගිය අභීත සටනට දායකවීම සඳහා හරිශ්චන්ද්‍ර තුමන් 1899, 1903, 1905 සහ 1908 යන වර්ෂවල දඹදිවට සිව් වතාවක්‌ සැපත් වූහ. එහිදී ලුම්බිණි ජයසිරි මහා බෝ මැඩ විස්‌තරය නම් වූ ග්‍රන්ථය රචනා කළ වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන් දඹදිව බෞද්ධ සිද්ධස්‌ථානවල තත්ත්වය පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කරන ලදී. ලංකාවේ ජාතික නිදහස්‌ ව්‍යාපාරයට අමද්‍යප ව්‍යාපාරයට ගවමස්‌ කෑමට විරුද්ධවද හරිස්‌චන්ද්‍රතුමා දැඩි කැපවීමෙන් කටයුතු කරන ලදී. එවකට පැවති සුරාබදු පනතට සෘජුවම විරුද්ධවෙමින් “සුරා පානය” නමැති ග්‍රන්ථය ලියා අමද්‍යප සටනට බෙහෙවින් උපකාරී විය. අනුරාධපුරයේ බෞද්ධ අයිතීන් රැක ගැනීමට නොනවතින සටනකට අවතීර්ණ වූ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්ගේ මග පෙන්වීම මත නිද්‍රාවෙන් පසුවූ බෞද්ධයන් අවදි වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අභියස පවත්වාගෙන ගිය ගවමස්‌ සහ මුවමස්‌ වෙළෙඳසල් ආදිය කඩා බිඳ දැමූහ. බෞද්ධ අයිතීන් වෙනුවෙන් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් විසින් ගෙනගිය අභීත සටන සුදු අධිරාජ්‍යවාදීන්ට බලවත් හිසරදයක්‌ වූ අතර හරිස්‌චන්ද්‍රතුමන්ගේ රුව දැකීම, හඬ ඇසීම පවා සුදු අධිරාජ්‍යවාදීන්ට කල් කදුරු මෙන් තිත්ත විය.
මෙහිදී 1903 දී අනුරාධපුරයේ බෞද්ධ නැගීසිටීමට සහ සිය අයිතිවාසිකම් රැකගැනීම සඳහා බෞද්ධයන් කළ අරගලයට මුල්වූයේ හරිස්‌චන්ද්‍ර තුමා යෑයි සුදු අධිරාජ්‍යවාදීන් චෝදනා කොට බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් සිරබාරයට ගන්නා ලදී. එහෙත් නඩු විභාගයේ එතුමන්ට එරෙහිව නගා තිබූ සියලු චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබීය. හරිශ්චන්ද්‍ර තුමන් ලේඛන කලාවට උපන් හපන්කම් දැක්‌වූ අතර සිංහල, පාලි, සංස්‌කෘත සහ ඉංග්‍රීසි භාෂාව මනාව දැන සිටි උතුමෙකි. එවකට මුද්‍රණය වූ සිංහල බෞද්ධයා, මහා බෝධී, සිරි අනුරාධපුර යන පුවත්පත් සඟරා ආදිය සංස්‌කරණය කොට එළි දැක්‌වූයේ එතුමන් විසිනි. එතුමන් විසින් රචිත ග්‍රන්ථ අතර ලුම්බිණි ජය ශ්‍රී මහා බෝ මැඩ විස්‌තර, සිංහල ජාතියේ පටන් ගැනීම, දෙවන පෑතිස්‌ නරේන්ද්‍ර චරිතය, අනුරාධපුර චෛත්‍ය විස්‌තරය, අනුරාධපුර ශුද්ධනුවර විස්‌තරය, රුවන්වැලි චෛත්‍ය වර්ණනාව, ථූපාරාම චෛත්‍ය වර්ණාව, ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව, දුටුගැමුණු නරේන්ද්‍ර චරිතය, අනුරාධපුර පළාතේ විස්‌තර, සිතියම් සහිත පුරා විද්‍යාව සහ ඉංග්‍රීසි බසින් රචිත ග්‍රන්ථ කිහිපයක්ද වේ. මෙම ග්‍රන්ථ හරිශ්චන්ද්‍රතුමන් විසින් 1900, 1912, 1908 යන වර්ෂවලදී ලේඛනගත කරන ලදී. එතුමා කුඩා කල පටන් රෝ සතුරා නොසලකා වෙහෙස මහන්සි නොබලමින් රට, ජාතිය, බෞද්ධාගම වෙනුවෙන් පුරා 37 වසරක්‌ අනුපමේය සේවයක්‌ කළ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර අභීත සෙන්පතියන් 1913 සැප්තැම්බර් මස 13 වැනි දින සියලු සංස්‌කාර ධර්මයන් අනිත්‍ය බව බුදුරදුන් දෙසූ දහම සනාථ කරමින් සදහටම නෙත් පියා ගන්නා ලදී.

17.ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර

ක‍්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර මහතා උපන්නේ 1894 ඔක්තෝබර් 18 වැනි දිනය. දොන් දානියෙල් විජේකෝන් කන්නන්ගර පිස්කල් රාළහාමිගේත්, එමලි වීරසිංහ මහත්මියගේත් තුන්වන දරුවා ව උපන් ක‍්‍රිස්ටෝපර් දරුවාට සහෝදර සහෝදරියන් පස්දෙනෙක් සිටියහ. එතුමාගේ පියා බලපිටිය උසාවියේ පිස්කල් තනතුර දැරූ, දොන් දානියෙල් කන්නන්ගරය. ඔහු දක්‍ෂ කවියෙකු වූ අතර “මුතුහර”, “කව්මිණි සයුර” යන ග‍්‍රන්ථ දෙක ද පළ කර ඇත. සිංහල පොතපත පරිශීලනයට තම පුතුන් උනන්දු කළ පියාගේ මඟපෙන්වීම අනුව ඉගනීමෙහි යෙදුණු ක‍්‍රිස්ටෝපර් කන්නන්ගර අංකුර අවදියේම අනාගතයේ මහා වනස්පති වෘක්‍ෂයක් වන බව පෙන්නුම් කළේය. අතට අසුවූ ඕනෑම දෙයක් කියවීමට උත්සුක වුණු කන්නන්ගර දරුවා ක‍්‍රමයෙන් වැඩෙත් ම සියලූම විෂයයන් ඉගෙනීමට මෙන්ම ක‍්‍රීඩා සහ කථිකත්වයට ද සහජ දක්‍ෂතා පෙන්නුම් කළේය. ගුණගරුක ගැමි කාන්තාවක වූ මවත්, ප‍්‍රතාපවත් සිංහලයකු වූ පියාත් විසින් කන්නන්ගර දරුවාගේ කුඩා මනසෙහි දේශාභිමානය පුරවමින් කීර්තිමත් ලාංකිකයකු වීමට අවශ්‍ය අත්තිවාරම දමනු ලැබීය.
ගාල්ලේ විහාරස්ථානයකින් පෞද්ගලිකව ලබාගත් පෙරදිග භාෂා සංස්කෘත දැනුම ද ඔහුගේ දේශාභිමානය හා දේශීය සංස්කාතිය ඔප්නැංවීමට හේතුවිය. අම්බලන්ගොඩ වෙස්ලියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ කන්නන්ගර සිය විදුහලේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදි ත්‍යාග රැසක් ලබාගත්තේ එවකට රිච්මන්ඞ් විදුහලේ විදුහල්පති ඩැලර් පියතුමා අතිනි. ත්‍යාග ගෙනයාමට කරත්තයක් ගෙනාවෙහිදැයි ඩැලර් පියතමා විහිළුවට ප‍්‍රශ්න කළේ කන්නන්ගර ශිෂ්‍යයාගේ දීප්තිමත් භාවය පිළිබඳ අමන්දානන්දයට පත්වීමෙනි. මෙම ත්‍යාග ප‍්‍රදානොත්සවය කුඩා කන්නන්ගරගේ ජීවිතයේ සන්ධිස්ථානයක් විය. මන්දයත් එතැන් පටන් ගාල්ල රිච්මන්ඞ් විදුහලේ අධ්‍යාපනය ලැබීමට ඔහුට මගපෑදුණු බැවිනි. රිච්මන්ඞ් විදුහල් මවගේ අද්විතීය සුජාත පුත‍්‍රයකු වූ කන්නන්ගර අධ්‍යාපනය පමණක් නොව නාට්‍ය, කථික, ක‍්‍රීඩා ආදි සියලූ අංශවලින් කුසලතාව දක්වමින් දකුණු පළාතේ හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනාගත්තේය. අනතුරුව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනා විශ්ව කීර්තියට පත් කන්නන්ගර තම නම පමණක් නොව රිච්මන්ඞ් විදුහල ද ලංකාව ද විශ්ව කීර්තියට පත් කළේය. අතීත, වර්තමාන, අනාගත සකල ශිෂ්‍ය පරපුරට ආදර්ශමත් ප‍්‍රතිරූපයක් ගොඩනැංවූ කන්නන්ගර අනතුරුව සිය පාසල් ශිෂ්‍ය ජීවිතයට ආයුබෝවන් කීවේ තමා උගත් රිච්මන්ඞ් විද්‍යාලයේම ගණිත ගුරුවරයා බවට පත්වෙමිනි. අනතුරුව මොරටුව වේල්ස් කුමර විදුහලේ හා කොළඹ වෙස්ලි විදුහලේ අර්ධ කාලීන ගුරුවරයකු ලෙස කටයුතු කරමින් නීතීඥ වෘත්තිය සඳහා ද උගත් ක‍්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර දිළිඳු හා වරප‍්‍රසාද නොලත් පන්තියේ මිනිසුන්ගේ ගැලවුම්කරුවකු මෙන් කටයුතු කරමින් නීතිඥ වෘත්තිය සමාජ සේවයක් හැටියට ද ඉටුකිරීම ඇරඹීය. වැඩිකල් යාමට මත්තෙන් කන්නන්ගර දේශපාලන හා සමාජ සේවා ක්ෂේත‍්‍රයේ කැපීපෙනෙන පුද්ගලයකු බවට පත් වූයේ ඇතැම් දේශපාලඥයන් මෙන් ස්වාර්ථය සලකා ගැනීමට නොවේ. ස්වකීය දේශයේ සිටින ජනතාවගේ ඉෂ්ඨාර්ථ, සුබ සිද්ධිය වෙනුවෙන් ඔහු සිය ජිවිතය කැප කළේය. 1917 දී ඔහුගේ පුරෝගාමිත්වයෙන් ගාල්ලේ ජාතික සංගමය පිහිටුවීය. 1922 දී මහනුවර ඊඩිත් වීරසූරිය මෙනවිය හා විවාහ වූ ආචාර්ය කන්නන්ගර සිය දේශපාලන ජීවිතයේ මල්ඵල ලඟාකරගත්තේ 1923 දී ගාල්ල මන්ත‍්‍රීවරයා බවට පත්වීමෙනි. 1930 දී ලංකා ජාතික කොංග‍්‍රස් සභාවේ සභාපති පදවියට පත්වූ ආචාර්ය කන්නන්ගර 1931 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ද පත් විය. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ විධායක මණ්ඩල පත් කිරීමේදී අධ්‍යාපනය පිළිබඳ විධායක මණ්ඩලයේ සභාපති තනතුරට වැඩි ඡන්දයෙන් පත් වූයේ ආචාර්ය කන්නන්ගරය. 1936 පෙබරවාරි 27 වැනි දින පැවැත්වුණු දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ද මතුගම ආසනයෙන් ජයග‍්‍රහණයක් ලබාගැනීමට එතුමා සමත් විය. එහිදී අධ්‍යාපන විධායක සභාවට පත්ව දෙවන වරට ද අධ්‍යාපන අමාත්‍ය ධූරය හොබවමින් ලංකාවේ අධ්‍යාපනයට නොමැකෙන සේවාවක් ඉටු කළේය. ඒ අනුව නිදහස් අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දීමේ අතිවිශිෂ්ඨ මෙහෙවර ද ඉටු කළේය. එහෙත් 1947 ඡන්දයෙන් විල්මට් ඒ.පෙරේරා මහතාට පැරදුණු කන්නන්ගර මහතා ඉන්දුනීසියාවේ තානාපති ධූරය ලබා එහි සේවය සඳහා ගියේය. යළිත් ලංකාවට පැමිණ 1952 මැතිවරණය දිනා පාර්ලිමේන්තුවට පත් වුවද මෙහිදී අධ්‍යාපන ඇමති ධූරය වෙනුවට එතුමාට ලැබුණේ පළාත් පාලන ඇමති ධූරයයි. 1960 මැතිවරණ සමය වන විට එතුමා ක‍්‍රියාකාරී දේශපාලනයෙන් විශ‍්‍රාම ගෙන සිටියේය. 1961 ජාතික අධ්‍යාපන කොමිසමේ සාමාජිකයකු ලෙස සේවය කරමින් එතුමා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට අගනා මෙහෙවරක් තවදුරටත් ඉටු කළේය. අධ්‍යාපනය තුළින් ජාතියට මඟපෙන්වූ විද්වතුන් සැමරීම පරමාර්ථය කරගත් ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයන් දස දෙනෙක් නැමති මෙම කෘතියේ දී වැඩි අවධානයක් යොමු කරනුයේ ලංකාවේ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයන්ගෙන් ඉටු වූ අධ්‍යාපනික සේවාව කෙරෙහි බව මුළින්ම කිව යුතුය.
1931 සිට 1946 දක්වා ලංකාවේ අධ්‍යාපන ඇමතිව සිටි කන්නන්ගර මැතිතුමා මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඉටු කළ විශිෂ්ඨ ජාතික මෙහෙවර තුළින් අධ්‍යාපන පුනරුදයක් ඇති කළේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එමඟින් ලංකාවේ බමුණු කුලය හෙවත් ධනවත් ඉංග‍්‍රීසි උගත් පන්තියේ ඒකාධිකාරය ද බිඳ වැටිණි. එම පුනරුදය දේශපාලනික, ආර්ථික, සාමාජික හා සංස්කෘතික පුනරුදයක් කරා මෙරට සමාජය ගමන් කරවීමට ප‍්‍රබල පිටුබලයක් සැපයීය. ලාංකික ජනතාවගේ අධ්‍යාපන ගැටළු මෙන් ම සමාජ ආර්ථික ගැටළු පිළිබඳ පුළු අත්දැකීම් ලබා තිබුණු එතුමාට ලංකාවේ දරුවනට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීම සාර්ථකව කළ හැකි විය. උගතුන්ට හා දේපල හිමියන්ට පමණක් සීමාවී තිබුණු ඡන්ද බලය සර්ව ජන ඡන්ද බලය බවට පරිවර්තනය වීමත් සමඟ ම පොදු ජන සුභසාධනය යන සංකල්පය අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ද බලපෑවේ ය. මෙහිලා කන්නන්ගර අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයන් යුග මෙහෙවරත් ඉටුකළ කාර්ය පද්ධතියක් බවට පත් විය. 1936 අගෝස්තු 17 වන දින ඊ.ඒ. නුගවෙල මහතා විසින් යෝජනා කරන ලද අධ්‍යාපනය පිළිබඳ කාරක සභාව පත් විය. එහි සභාපති පදවියට පත් වූයේ ආචාර්ය කන්නන්ගරය. දිවයිනේ පිහිටි සියළුම රජයේ විද්‍යාලවල බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපන පිළිවෙතක් ඇති කළේ මෙම කාරක සභාවේ ක‍්‍රියාකාරිත්වය මගිනි. ආචාර්ය කන්නන්ගර ශ‍්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට රුකුලක් වන පරිදි අධ්‍යාපනය සැලසුම් කිරීමේ නිරත විය. පහත සඳහන් ක‍්‍රියාමාර්ග අනුගමනය කළයුතු බව එතුමා යෝජනා කළේය.
සියලූම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නොමිලේ ලබාදීම, ඉංග‍්‍රීසි වෙනුවට ජාතික සභාව අධ්‍යාපන මාධ්‍යය බවට පත් කිරීම, පාසල් පද්ධතිය රජයට පවරා ගැනීම, හැම ළමයෙකුට ම තම දෙමව්පියන්ගේ ආගම ඉගැන්වීම, ආධාර ලබන පාසල්වල ගුරුවරුන් පාසල් කලමනාකරුවන්ගේ අයුක්ති සහගත පාලනයෙන් මුදවා ගැනීම, වැඩිහිටි අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් විධිවිධාන සැලසීම, මෙම ක‍්‍රියාමාර්ග ඉටු කරගැනීම තුළින් අධ්‍යාපන පද්ධතියේ පහත සඳහන් නවීකරණ ඇති විය.
පළමුවන වසරේ සිට විශ්ව විද්‍යාල අවධිය දක්වා නිදහස් අධ්‍යාපනය, මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීම, මූලික අධ්‍යාපන අවස්ථා පුලූල් කිරීම සඳහා පන්සල් , පල්ලි හා දේවස්ථානවල ඉගැන්වීම් කටයුතු කළේය, අධ්‍යාපනය සඳහා ගම්බද දරුවන්ට වැඩි අවස්ථා ලබාදීම, ආදායම් අඩු ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ක‍්‍රමයක් පිහිටුවීම, පොදු විෂය නිර්දේශ සකස් කිරීම, විෂය බාහිර කටයුතු සංවිධානය කිරීම, සංගීතය හා නැටුම් ඉගෙනීමට අවස්ථාව සැලසීම, මලල ක‍්‍රීඩා සඳහා අවස්ථාව සැලසීම, පාසල්වලට ක‍්‍රීඩා පිට්ටනි ලබාදීම, පාසල් අධ්‍යාපනයේ අංගයක් ලෙස වතුවැඩ ඇතුළත් කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු විද්‍යාල පිහිටුවීම, ගුරු විද්‍යාලවල සමබර අධ්‍යාපනයක් ලබාදීමට පියවර ගැනීම, දෙවන පන්තියේ සිට ඉංග‍්‍රීසි ඉගෙනීම අනිවාර්ය කිරීම, දරුවන්ගේ හිස , හිත , අත හා සෞඛ්‍යය සංවර්ධනය කළ යුතුය යන ආකල්පය ඇතිව ඉගෙනීමට අවස්ථා සංවිධානය කිරීම. (එහිදී ඥානය මෙන් ම ප‍්‍රායෝගික දක්‍ෂතා සහ සෞන්දර්ය රසාස්වාදයට අවස්ථාව දීම, වැඩෙහි යෙදෙමින් ඉගෙනීමට අවස්ථාව සැලසීමේ ඉගෙනුම් ක‍්‍රමයක් හඳුන්වා දීම. (හත්දෙස්ස ක‍්‍රමය හෙවත් ග‍්‍රාමීය අධ්‍යාපන ක‍්‍රමය යනුනේ හැඳින්වුණු මෙය ලංකාවේ දරුවන්ට බෙහෙවින් ගැලපෙන පුහුණු මාරුවට ඉඩකඩ සැලසෙන ක‍්‍රමයක් වූ අතර කෘෂිකාර්මික සංවර්ධනයට ද හිතකර විය. එහෙත් ඇතැම් බලවේග නිසා මෙම ක‍්‍රමය අත්හැර දමන්නට සිදුවිය.)
දරුවන්ගේ අවශ්‍යතා සහ රටෙහි අවශ්‍යතා තුලනය වන සමබර අධ්‍යාපන ක‍්‍රමයක් සැලසුම් කළ යුතු බව ඔහු පිළිගත් මූලධර්මය විය. සිසුන්ගේ පාසල් ජීවිතය ඔවුන්ට අවශ්‍ය ආකල්ප හා සාරධර්ම මුල් බැස ගන්නා අවධිය වන බැවින් ජාතියක ජීවය හා ආගමික හා සංස්කාතික හැදියාව පවරා දීමට සරිලන පරිදි අධ්‍යාපන ක‍්‍රමය සකස් කිරීම. 1929 පත් කළ විශ්ව විද්‍යාල කොමිසමේ වාර්තාව පරිදි 1943 දී කන්නන්ගර මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපනය පිළිබඳ කාරක සභාවක් පිහිටුවන ලදී. මේ කාරක සභාවේ නිර්දේශ අනුව ලංකාවේ අධ්‍යාපන පර්යේෂණ කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අධ්‍යාපන පර්යේෂණ මණ්ඩලයක් ද පිහිටුවන ලදී. එහි නිර්දේශ නීතිගත කරන ලදුව ශ‍්‍රි ලංකාවේ ජාතික විශ්ව විද්‍යාලයක් ද ප‍්‍රතිෂ්ඨාපිත විය. ගුරු වැටුප හා ගුරුවරුන්ගේ සමාජ ආර්ථික තත්වය නැංවීමට එතුමා ක‍්‍රියා කළේය. මෙම නවීකරණ ඔස්සේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයේ නව නැම්මක් ඇතිවූ අතර ඒ වකවානුව වන විට අධ්‍යාපනය අතින් ආසියාවේ දියුණුම රට බවට ශ‍්‍රී ලංකාව පත්විය. උගතුන් වැඩි කිරීමට මෙන්ම සමාජ සඵලතාව ඇති කිරීමටද කන්නන්ගර මහතාගේ මෙම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ බෙහෙවින් වැදගත් විය. එම වකවානුවේ ආසියාතික රටවල් අතුරෙන් ජාතික ආදායමේ වැඩිම ප‍්‍රතිශතයක් එනම් 5% ක් අධ්‍යාපනයට වැයකළ එකම රට ශ‍්‍රී ලංකාවයි. ශ‍්‍රී ලංකාවේ ජාතික සමගිය ඇතිකිරීමේ අරමුණ ඇතිව කරන ලද අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ මගින් ඔහු ජාතික සමගිය තහවුරු කළේය. එවකට දුර්වල ව පැවති මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපන ප‍්‍රගතිය කෙරෙහි ඔහු දැක්වූ විශේෂ අනුග‍්‍රහය සෝල්බරි කොමිසමේ ද විශේෂ ප‍්‍රසාදයට හේතු විය. බොහෝ හේතු නිසා අතීතයේ මුස්ලිම්වරුන්ගේ අධ්‍යාපනය සාපේක්‍ෂ ලෙස නොදියුණු තත්ත්වයක පැවතිනි. එහෙත් සිංහලයෙකු වූද බෞද්ධයෙකු වූද අධ්‍යාපන ඇමතිවරයා මේ ජාතීන්ගේ අධ්‍යාපනය නැංවීමට ගත් පියවර ගැන අපි විශේෂයෙන් පැහැදුණෙමු. සෝල්බරි සාමිවරයාද අගය කළ මෙම ප‍්‍රතිපත්තිය ශ‍්‍රී ලංකාවේ ජාතික සමගියට මෙන්ම ජාත්‍යන්තර කීර්තියටද හේතු විය. මුස්ලිම් ස්වභාෂා පාසල් රැසක් පිහිටුවූ අතර මුස්ලිම් ගුරු විදුහලක්ද ඇරඹිනි.
1934 දී අසරණ සරණ ආඥාපනත මගින් සියලූම ජාතීන්ට අයත් දුප්පත් දරුවන්ට පිලිසරණ වූ අතර පොදුවේ සෑම පාසල් දරුවෙකුටම නොමිලේ දිවා ආහාර ලබාදීමට කටයුතු කිරීම තුළින් දිළිඳු ජනකොටස්වල මන්දපෝෂණය පිටුදැකීමට හැකිවිය. ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත අධ්‍යාපනයක අවශ්‍යතාව වටහාගත් කන්නන්ගර මහතා පාසල් අධ්‍යාපනයට ප‍්‍රායෝගික වැඩ ඇතුළත් කළේය. කාර්මික විද්‍යාලය පිහිටුවමින් පාසල් හැර ගිය අයට උසස් කාර්මික දැනුමක් ලබාගැනීමට ද මග පෑදුවේය. දක්‍ෂ එහෙත් දිළිඳු දරුවන්ට ඉහළට යාමට අතදීමක් වශයෙන් මධ්‍ය මහා විද්‍යාලවල ශිෂ්‍යත්ව ලාභීන්ට ශිෂ්‍යාධාර ක‍්‍රමයක්ද ඇති කළේය. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත‍්‍ර විභාගයට බාහිරව පෙනී සිටීමට ඉඩදීම මෙතුමාගේ දූරදර්ශී භාවය ප‍්‍රකට කරවන්නක් විය. මේ මගින් රැකියාවල නියුතු දක්ෂතා ඇති අයට ඉගෙනීම දියුණු කරගැනීමට හැකිවිය. ශිෂ්‍යයාගේ හිස අත හා හදවත වර්ධනය කළ යුත්තේ ය යන කන්නන්ගර දර්ශනය වර්තමානයේ පවත්න දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය යන්නට බෙහෙවින් සමානය. ලංකාවේ සියලූ දරුවන්ට සම අධ්‍යාපන අවස්ථා සැලසිය යුතුය යන්නද එබඳුම මූලික දර්ශනයක් විය. එම දර්ශනය අනුව සිය “අනඟි මුතු ඇටය” නමින් හැඳින්වූ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ පසු ඔහු උදන් ඇනුවේ මෙසේය.
මහා ඔගස්ටස් ඔහුගේ විශිෂ්ඨ විජයග‍්‍රහණයන් ක්ෂමාර්ග ප්‍රෞඨත්වයෙන් හුවා දක්වමින් ගඩොලින් සැදි රෝම පුරයක් තමාට හිමිවුවද එය අත්හළේ කිරිගරුඬින් නිම කිරීමෙන් පසුව, බව පැවසීය. එමෙන්ම ලංකා රාජ්‍ය මන්ත‍්‍රණ සභාව අනර්ඝ වස්තුවක්ව තිබූ අධ්‍යාපනය නොමිලේ ලද හැක්කක් බවට පත් කරමින් වසා තිබූ ග‍්‍රන්ථයක් විවෘත ප‍්‍රකාශනයක් බවට පත් කළේය. “ධනවතුන්ගේ ප‍්‍රවේනියක් දුගී දුප්පතුන්ගේ සදා උරුමයක් බවට පත් කළේය යන සාඩම්බර නමුදු සත්‍ය වූ ප‍්‍රකාශයකින් ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව මගේ මේ සංදේශය සමාප්ත කරමි” යනුවෙන් මෙතුමා සිය අධ්‍යාපන කර්තව්‍යය ගැන දැක්වූ අදහස් වර්තමාන අධ්‍යාපනඥයන්ගේද ප‍්‍රශංසාවට හේතු වනු ඇත. මේ අයුරින් අධිරාජ්‍යවාදී පාලන යුගයක වුවද ලාංකික දරුවන්ට සිය දුෂ්කරතා සමනය කර ගැනීමට ඒකායන මාර්ගය වූ නිදහස් අධ්‍යාපන දොරටු විවර කරගැනීමට ඉඩකඩ සැලසීම සමාන කළ හැක්කේ ප‍්‍රාතිහාර්යයකට පමණි. සිය සංස්කෘතියේ උත්කෘෂ්ඨ අංග හඳුනා ගැනීමට හා සුරක්‍ෂිත බවේ නිවාසයට ඇතුල් වීමටත් වැඩවසම් සමාජ ක‍්‍රමයේ කොටු බැමි දෙදරවා සමාජ සඵලතාවක් ලබාගැනීමටත් ලාංකිකයාට ඉඩ ලැබුණේ ආචාර්ය කන්නන්ගර බිහිකළ නිදහස් අධ්‍යාපන පණත බව පැවසීම සාවද්‍ය නොවේ.
පසුකාලීනව ශ‍්‍රී ලංකාවට ලැබුණු සර්වජන ඡන්ද බලය පාවිච්චි කිරීමට හා ඡන්දයට ඉදිරිපත්ව දේශපාලන වගකීම දැරිය හැකි අවදි බවින් සම්පූර්ණ පිරිසක් බිහි කිරීමට මෙම නිදහස් අධ්‍යාපනය ඉවහල් විය. එමෙන්ම ජාතික ව්‍යාපාර වලට උරදීමට හැකි ප‍්‍රතිභා සම්පන්න පිරිසක් බිහිකර ලීමටද එම කන්නන්ගර ප‍්‍රතිසංස්කරණ උපකාරී විය. විශේෂයෙන් දේශීය සංස්කෘතිය හඳුනාගත්, ගම්බද පොදු ජනතාව අතරින් බිහිවූ උගතුන් පිරිසක් වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන, නීති වැනි ක්‍ෂේත‍්‍රයන්ට අවතීර්ණ කරවීමේ ගෞරවය කන්නන්ගර අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වලට නිත්‍ය වශයෙන්ම හිමිවේ. දෙමල පාසල් වල සිංහල ද, සිංහල පාසල්වල දෙමල ද අනිවාර්යෙන් ඉගැන්වීමේ වැඩ පිළිවෙලක් ද කන්නන්ගර මැතිතුමා හඳුන්වා දුන්නේය. එහෙත් එය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක නොවීය ක‍්‍රියාත්මක වූයේ විකල්ප භාෂාවක් ඉගෙනීමට අවස්ථාවක් හැටියට පමණි. අනිවාර්යෙන්ම මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වී නම් ජනවාර්ගික ගැටලූවක් උද්ගත නොවන්නටද ඉඩ තිබිණි. ඉංග‍්‍රීසි අධ්‍යාපන රටාව මෙරටට නොගැලපෙන්නක් බව ඔහුගේ අධ්‍යාපන දැක්ම විය. ඉන්දියාවේ පැවති අන්තර් ආසියාතික සම්මේලනයකදී කතාකරමින් ඔහු අධ්‍යාපනය පිළිබඳව තම දැක්ම මෙසේ ඉදිරිපත් කළේය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ අධ්‍යාපනයද එහි ජනතාවගේ විවිධ පරමාර්ථ හා විවිධ සම්ප‍්‍රදායන් ආරක්‍ෂා කරන්නක් නොව විදේශ පාලන තන්ත‍්‍රයක අවශ්‍යතා සපුරාලන්නක් විය. මෙරට අධ්‍යාපනය තුළින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රගතිය ඇතිකිරීම බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අවශ්‍යතාව නොවූ බව එතුමා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ජනතාවට ස්වාධීන චින්තනයක් හා නිවහල් ජීවිතයක අගය වටහා ගැනීමට සමත් අධ්‍යාපනයක් ලබාගැනීමට නම් එය දේශීය සිතුම් පැතුම් වර්ධනය වන පරිසරයක් තුළ ලබා දිය යුතු බව එතුමා අවධාරණය කළේය. අධිරාජ්‍යවාදී ස්වාමිවරුනට පක්‍ෂපාතී වූ හා විදේශීය සම්ප‍්‍රදායන්ට ආසක්ත වූත් මේ රටේ පරිපාලනය දිගටම පවත්වා ගැනීමට සහාය වන්නාවූත් පිරිසක් බිහිකර ගැනීම බි‍්‍රතාන්‍ය පාලකයින්ගේ අරමුණයි. පරාදීන යුගයක වුවද මෙම අරමුණට පටහැනිව මෙරට ආර්ථික සංස්කෘතික මෙන්ම පුද්ගලික නිදහස ද දිනාගැනීමට සමත්වූ පසුබිමක් ඇතිකර ගත හැකි පරිදි ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව වෙනස් කිරීමේ කාර්යයට උරදීමෙන් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර නැමති ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයා ජාතික වීරයෙක් ද වශයෙන් වීර ප‍්‍රසිද්ධියට පත් විය.